සිවු වැනි ආණ්ඩුවේ යුද්ධය

සිවු වැනි ආණ්ඩුවේ යුද්ධය

තව තත්පරයකින් මේ මොහොත ඉවරයි. ආයෙත් සැරයක් අතීතයට ගිහිල්ලා කරපු වැරැදි නිවැරැදි කරන්න පුළුවන් නම් ඔබ ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද?

ගොඩාක් දේවල් හිතෙන්න පුළුවන්.

අපි හිතාමතාම නොවුණත් කරනු ලබන සමහර වැරැදිවලින් දඬුවම් ලබන්නේ අනාගත පරපුරයි කියලා මීට අවුරුදු තිහකට කලින් හිතුණා නම් අද මේ රට කොතරම් වෙනස් වෙන්න තිබුණද? අකාලයේ විනාශවුණු තරුණ ජීවිත දහස් ගණනකි. දේපළ හානිද එතරම්ම ය. අවසානයේ ඒ දෙස හැරී බලන්නෙකුට හැඟෙන්නේ ඔවුන් යුද වැදුණේ කුමක් අරබයාද? එයින් ඔවුන්ට ලැබුණේ කුමක්ද යන පැනය ය.

සියල්ල සිදුවී අහවරය. වැලිතලා මතින් ඇදෙන යුද හමුදා රථ වෙඩි වරුසා වස්සවද්දි, තැන තැන සැඟවුණු සෙබළුන් සතුරාගෙන් මවුබිම බේරාගත් ඒ පරිශ්‍රමය මිල කළ හැකිද? ගුවනින් ඇවිත් සතුරු ඉලක්ක වෙත පහර දෙන අතරතුරු මුහුදෙන් කළපුවෙන් ඇවිත් සතුරාව පුංචි බිම් කඩකට කොටු කරන්නට ඔවුන් දැරූ ප්‍රයත්න අනන්තය, අප්‍රමාණය. යුදපිටියේදී ඔවුනගේ ජීවිතයද දෙවැනිය. අව්ව, වැස්ස, රැය, දහවල, බඩගින්න, විඩාව සියල්ල ඇත්තේ එයිනුදු පසුපසිනි.

“දකුණු කකුල තුවාල වුණාට කමක් නෑ අම්මේ. මට අනිත් කකුල තියනවානේ. අපි මේ යුද්දෙ දිනනවා තාත්තේ. මම ගෙදර නෙමෙයි ඉන්න ඕන ක්‍රියාන්විතයේ.”

මෙතරම් වීරෝදාර පුතුන් සදන්නට පිනැති අම්මාගේ ඇසට කඳුළක් නැඟුනත් ඔහුගේ අයිතිය රටටයි කියා ඈ උදම්වන්නීය.

මෙවන් වෙසතුරු බඳු මවුවරු ගව්වෙන් ගව්වට අපට හමුවේ. අපගේ අදහස මේ මවුවරුන්ගේ පුතුන් පෑ දස්කම්, විස්කම් ලොවට කී තවත් සහෝදර පිරිසක් ගැන කතා බස් කරන්නටයි.

ඔවුහු නම් පෙර ගමන්කරුවන්ය.

යුද බිමේ මෙහෙවර සියැසින් දකිමින් යුද සෙබළුන් හා උරනුර ගැටෙමින්, විටෙක තුවාල ලබමින් පවා යුද පෙරමුණට ගිය ඔවුනගේ පරිශ්‍රමයද අමිල ය. කැමරාව උරහිස මත තබාගෙන මයික්‍රෆෝනය අතින් ගත් ඔවුනට පිහිටට හිටි තවත් සුළු ආයුධ වූයේ නෝට් බුක් එක සමඟ පෑන පමණි. භයානක සතුරු භූමියක රැයද, දහවලද, මහා වනාන්තරයද, වැලි තලාද, කළපු, මඩවගුරුද, අගල්ද කිසිවකින් කිසිදු සමාවක් නැත.

පුවත්පතට තොරතුරු ගෙන එන්නට, ගුවන්විදුලිය ඔස්සේ යුද පුවත් ලබාදෙන්නට, රූපවාහිනි නාලිකා හරහා මානුෂීය මෙහෙයුමේ ඇත්ත නැත්ත ලොවටම පෙන්වීමට අප්‍රතිහත ධෛර්යයක නියැළුනේ ඔවුන්ය. යුදබිමකදී මාධ්‍යවේදියාගේ වගකීම කුමක්ද? කාර්යභාරය කුමක්ද? යන ප්‍රශ්නවලට කදිම පිළිතුරු ලැබෙන්නේ තොප්පිගල ජයග්‍රහණයත් සමඟය.

වසර 30 ක් පුරා දරුණු ත්‍රස්තවාදී යුද්ධය පැවතියත් යුද වාර්තාකරණය සම්බන්ධයෙන් අපට තිබුණේ අල්ප අත්දැකීම් පමණකි. අත්දැකීම් තිබුණද එය පාඨක, ශ්‍රාවක, පේ‍්‍රක්ෂකයා වෙත සෘජු ලෙස ම බලපෑම් කළාක් නොවුණි. එහි සුවිශේෂී බව ග්‍රාහකයා වෙත දැනෙන්නට වූයේ නැඟෙනහිර මුදාගැනීම හා වන්නි මෙහෙයුමේ සිට අවසන් සටන ඔස්සේ ඝාතකයා සොයා ගිය ගමනේදීය.

යුද පුවත් වාර්තාකරණය එතරම්ම පහසු කාර්යයක් නොවූයේ එය දත් තිස් දෙක මැදැති දිව සේ ඉතා පරිස්සම් සහගතව සිදුකළ යුතුවන බැවිනි. හමුදා නීතිරීති, හමුදා රහස්, ඔවුනගේ නිල ධූරාවලින් වගකීම් සහගත ප්‍රකාශ ආදී දේ තුළ ස්වයං වාරණ සිදුකර ගැනීමට මාධ්‍යවේදියා උත්සුක විය යුතුය. සටන් පෙරමුණේ රණවිරුවන් සමඟ සිටින අතරතුරම ඔවුන්ගේ සැලසුම් පිළිබඳ කතිකාවත අතර මාධ්‍යවේදියා දැඩි විශ්වාසනීයත්වයක් ගොඩ නගාගෙන තිබීම මෙහිදී පහසු වූ බව ඔවුන්ම පෙන්වා දෙන්නකි. වචනවලින් සහ ඡායාරූප හරහා කරන මේ හරඹයේදී සෑම වචනයකම බලයක්, වටිනාකමක්, අගයක් වගේම විශ්වාසනීයත්වයක් තිබිය යුතුම විය. තීරණාත්මක මොහොතේ යම්හෙයකින් වචනයක් හෝ වැරැදී ගියේනම් සියලු ප්‍රයත්නයන් එතැනම නවතින්නට ඉඩ පැවතිණි.

ඉරාකයේ දරුණු යුද තත්ත්වය ජනමාධ්‍ය හරහා එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගිය බව අප දන්නා කරුණකි. බොහෝ රටවල යුදවාදී පරිසරයක් තුළ මාධ්‍යවේදියාට පරිස්සම්විය යුතු තැන් බොහෝමයක් පැවතිනි. සමහර ඡායාරූප පෙන්වීමෙන් ප්‍රචණ්ඩත්වය උග්‍රවනවා සේම, ලෝකය දකින්නේ ම්ලේච්ඡත්වයේ තරමයි. විටෙක ඡායාරූපයකින්ම ලෝකයේ බොහෝ හදවත් සසල කළ හැකිය. උතුරු නැඟෙනහිරදී කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ සටනේදී කළ මානුෂීය මෙහෙවර දස දහස් ගණනක් ජීවිත බේරාගෙන පැමිණි අයුරු ලොවම දුටුවේ මාධ්‍ය ඔස්සේය. සමහර පුවත්පත් එය වාර්තා කළේ හදකම්පා කරවන අයුරිනි. ඒ ජීවිතවලට යළි ජීවත්වීමේ අයිතිය ලබාදුන් කෘතවේදීත්වය හමුදාව වෙත පිරිනමන්නටද ඔවුහු අමතක නොකළහ.

එසේම මාධ්‍යයට ආචාරධර්ම හා සදාචාරය සම්බන්ධයෙන්ද වගකීම් පවතී. ඒ සියලු අභියෝග රූපවාහිනී තිරය මත, පුවත්පත් පිටු මතදී වගේම ගුවන් විදුලි හඬ තුළින් හා අන්තර්ජාලය හරහා ගෙන ගිය පුවත්, විශේෂාංග ඔස්සේ ජය ගැනීමට අපට හැකියාව ලැබිණි.

යුද පිටියේ සත්‍යය දකින්නට රටෙහි මුළුමහත් ජනතාවම උනන්දු කරවූයේද මාධ්‍ය විසින්මය. රූපවාහිනී මාධ්‍යයට එහිදී ප්‍රමුඛත්වයක් හිමිවිණි. බොහෝ දේ ඇති සැටියෙන් දක්වන අතර දෙස්, විදෙස් කුමන්ත්‍රණ දණ ගස්වන්නට සමත්වීමද තවත් ජයග්‍රහණයකි. ලෝකයේ බොහෝ රටවල මානව හිමිකම් උල්ලංඝණය වනවිට යුද පිටියක උණ්ඩ, ප්‍රහාරක අවි අතරින් ජීවිත කරපින්නාගෙන එන අයුරු දුටු ලෝකයේම හදවත් සසල විය.

ගුවන ජයගත් ඔවුහු ගංවතුර, මහ වැසි මැද අතරමං වූ සාමාන්‍ය ජනයාගේ දිවි ගලවා ගත් අයුරු අප සියැසින් දුටුවේ මාධ්‍ය මෙහෙවර මගිනි. කළපු දියේ බැස, මහමුහුදේ, රෑ දවල් නොතකා, සතුරන්ගෙන් සාමාන්‍ය ජීවිත බේරාගත් අයුරුද එලෙසින්ම දැකගත හැකිවිය.

මේ සියලු අවස්ථාවලට එක්වන මාධ්‍යවේදියාට සුවිශේෂි පුහුණුවක් නොතිබිණි. ඔවුහු යුද වාර්තාකරණය පන්නරය ලද්දේ යුද පිටියේදීමය.

ජීවිත පවා පරදුවට තබා එම මෙහෙවර ඉටුකළේ තීරණාත්මකව සටන් පැවැති මොහොතකදීය.

“අපි හිටපු තැනට මීටර් 100ක්, 50ක් දුරින් තමයි මෝටාර් ප්‍රහාර එල්ල වුණේ. කැමරා ශිල්පියායි, මමයි ජීවිත බේරාගත්තේ අනූනමයෙන්.” මේ එක් මොහොතක් පමණි.

“ටීම් එකේ දොළහක් හිටියා. මම කර්නල් කෙනෙක්ගෙන් වොයිස් කට් එකක් ගත්තා රෑට නිවුස්වලට දෙන්න ඕන නිසා. ටක් ගාලා වාහනේ ළඟට දිව්වා. හරියට විනාඩියක්වත් ගියේ නෑ. ඒ කර්නල්වරයා එතනමයි. අපි නිවුස් එක දානකොට එයා ජීවිතේ පූජා කරලා”

තවත් කෙනෙකුගේ අත්දැකීමක් විස්තර කෙරුණේ ඒ ආකාරයෙනි.

“දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ” යන්න පසක් කරමින් නන්දිකඩාල් කළපුවේ උඩුබැලි අතට හැරුණු දැවැන්ත සිරුරට අවසානය ගෙන ආ මොහොත අප එසැනින් දුටුවෙමු. ලොවම මවිත කළ මිනීමරු ත්‍රස්තවාදී නායකයා අවසන් ගමන් ගිය මොහොත දකින්නට ලොව බලා සිටියේ මීට වසරකට පෙරදීය. තිස් වසරක මේ ශාපලත් යුද්ධය අවසන්වීම සාරාංශගත කිරීමනම් උගහටය.

“නන්දිකඩාල් කළපුවට මහා වැස්සක් ඇදවැටුණා. සෙබළු පන් හය දාහක් එකපොදියට රැස්වෙලා හිටියා. අපට දැනුනේ මේ වැස්ස තිස් වසරක ශාපය මවුබිමෙන් සෝදා හරින්නට සොබාදහම එවූවක් විදියටයි.”

වසරකට පසු අපට අසන්නට ලැබුණේ එවැනි දෑය. මෙයින් මතු අපි යා යුතු ගමනක් ඇත. ඒ පාරිශුද්ධ භූමියේ උරුමය ශ්‍රී ලාංකික සැම වෙත උරුමකර දීමය. ඒ උරුමය තුළින් අප ලෝකයාට අභියෝගයක් විය යුතුය. අප දැනටමත් කර ඇත්තේ යුදමය ප්‍රාතිහාර්යයකි. එය අතිශයෝක්තියක් නොවේ. රටේ ඉහළම නායකත්වයේ සිට සාමාන්‍ය මිනිසා දක්වාම අප තුළ සබඳතාව, සහයෝගය, මිත්‍රත්වය සුහදශීලීත්වය වර්ධනය කර ගැනීමේ කාර්යයෙහි නිරත විය යුතුය. ඒ සඳහා ලිහීගිය අත්වැල යාකරන දම්වැල විය යුත්තේ මාධ්‍යයි. මාධ්‍යවේදියාට ඒ කාර්යයේදී විශාල භූමිකාවක් පවතී. “මම මගේ සාක්කුවේ තිබුණු සිංහ කොඩිය ජයග්‍රාහි හැම තැනකදීම එසවූවා.”

එකී ජාතිකත්වය හැම හදවතකම රෝපණය කිරීමේ වගකීම අප සතුය.

කොළඹ නොදැකපු තරුණයන්ට, නොදරුවන්ට අපි යාපනේට ගිහින්ම ඇරියුම් ගෙන එමු. මේ අනුව අපේ කාර්යභාරය අද වෙනකොට තවතවත් අත්‍යවශ්‍යයි. සතුට මුසු හෙට දිනකට අපි ඔවුන් එක්කම එකට යන්න ඕන කියන පණිවිඩය නිහඬ ගුවන්තලයට මුසුකරන්න හොඳම කාලයයි මේ.

මේ වසර අප සැමගෙයි. අද දවස අපගෙයි. “රන් මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් බිඳක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවුකොනේ”

ඒ රන්වැට රැක ගනිමු. ඒ මතකය සදාකාලික කරගනිමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා