මුළු රටම නැංවීමේ අභියෝගය ජයගන්නවා

මුළු රටම නැංවීමේ අභියෝගය ජයගන්නවා

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ

වසර තිහකට අධික කාලයක් සිත් පිත් නැති වේළුපිල්ලේ පිරිබාහරන් ගේ යකඩ සපත්තුවට පෑගි සිටි උතුරේ දෙමළ ජනතාව සේම, ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දී සිටි මුළුමහත් ශ්‍රී ලංකාවාසී ජනතාවම අද ඒකීය රටක් තුළ එක් ධජයක් සෙවණේ නිදහසේ සුවය විඳගනිමින් සිටිති.

අද වනවිට එයට හරියටම අවුරුද්දකි.

මුලතිව් හි නන්දිකඩාල් කළපුවේදී මීට වසරකට ඉහත දී වේළුපිල්ලේ පිරිබාහරන් නම් වූ ජනඝාතකයා විනාශ කිරීමත් සමඟ අපේ රටට නිදහසේ සුවය අත්විණි. ලක්මව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා දසක හයක් ඉක්මවූවත් ත්‍රස්තවාදී ග්‍රහණය නිසා ඇය දශක තුනක් පීඩා වින්දාය. මේ දිගුකාලීන පීඩනය නිමකොට ගත වූ දොළොස් මසක කාල පරිච්ඡේදය තුළ උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාව ලැබූ ප්‍රතිලාභ අති විශාලය. ඔවුනට හිමිවූ මේ සියල්ලටම වඩා වටිනුයේ “මනුෂ්‍යත්වයේ දේශය” ලෙස සුපුරුදු පරිදි අප ලක්මෑණියන් ලොව පතල වීමය.

කුරිරු කොටි ත්‍රස්තවාදය, ඉන් රටට අහිමිවූ අහිතකර පීඩනය එය නිමවාලීමේ ක්‍රියාදාමය, උතුරු නැඟෙනහිර ජනතා ජයග්‍රහණ සහ සමස්ථ රටේ ජනතාවගේ නවෝදය සිදුකළ ආකාරය මේ ලිපියෙන් කථිකා කෙරේ.

මීට වසර ගණනාවක් තිස්සේ අප ජන සමාජයේ සියලුදෙනා කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර කොයි මොහොතේ සිදුවේදැයි නොදැන භීතියෙන් තැති ගැන්මෙන් යුතුව කාලය ගත කළහ. ගමනක් බිමනක් යන සෑම අවස්ථාවකදීම දැඩි විමසිලිමත් බවකින් යුතුව එය සිදුකිරීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපටම සිදුවී තිබිණි.

උදාහරණයක් ලෙස මාතර සිට කොළඹ බලා එක් පවුලක අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් ගමනක් පිටත්වූයේ නම් කොටසක් බස් රියෙන්ද කොටසක් දුම්රියෙන්ද ගමන් කිරීමට තරම් මේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට පිරිස වගබලා ගත්හ.

ඒ සිදුවීමට ඉඩ ඇති අවාසනාවන්ත තත්ත්වයකින් මිඳීමේ අවම විකල්පයක් ලෙසයි. යම් කරදරයක් සිදුවුවහොත් තම පවුලේ කොටසකගේ හෝ ජීවිත බේරාගැනීම මේ ක්‍රියාදාමයේ අපේක්ෂාව විය. මෙවැනි අත්දැකීම් බහුල ජන සමාජයකට නිදහසේ තමන් කැමැති ඕනෑම තැනක ගමන් බිමන් යෑමට හැකි පරිසරයක් උදාකිරීම යනු මහත් ඵල මහා ආනිසංස ගෙන දෙන්නක් විය. එය වසර 2005 නොවැම්බර් මස 17 වැනිදා පැවැති මෙරට පස්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා මැතිවරණයේ ප්‍රධාන ජනතා බලාපොරොත්තුව විය.

ත්‍රස්තවාදී බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජයට පත්කොට රටට තිරසාර සාමයක් උදාකිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අරමුණ විය. ඒ අනුව බලයට පැමිණි වහාම ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නවලට විසඳුම සෙවීමට ඔහු උත්සුක විය. එනමුත් හිතාමතාම සාකච්ඡා මේසයෙන් ත්‍රස්තවාදීහු ඉවත්වූහ. අනතුරුව 2006 ජූනි 19 වෙනිදා මාවිල්ආරු සොරොව්ව වසා දමා පවුල් තිස් දහසකට අවශ්‍ය පානීය ජලය සහ ගොවිතැනට ජලය ඇහිරීමට කොටි ක්‍රියා කළහ. නැගෙනහිර සශ්‍රික භූමියේ වී වගාව හා සෙසු බෝග වගාව ප්‍රාණ ඇපයට තබා ගැනීමට කොටි ක්‍රියා කළහ.

මේ අවස්ථාවේ ජනතාවට වගකිවයුතු රජයක් ලෙස ඇස් කන් පියා සිටීමට රජයට නොහැකිවිය. සේනාධි නායකයා, සේනාවිධායකයා සහ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායට අණ දුන්නේ මානුෂීය මෙහෙයුම් අරඹා මාවිල්ආරු සොරොව්ව විවෘත කරන ලෙසය. ඉන්පසු ගොවි ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සපුරාලන ලෙසය. මෙය අකුරටම ක්‍රියාත්මක කළ වීරෝදාර හමුදාවෝ ඇස්, ඉස්, මස්, ලේ දන්දී පමණක් නොව තම දිවි පරදුවට තබා මාවිල්ආරු සොරොව්ව කොටි ග්‍රහණයෙන් මුදාගත්හ.

දැඩි අධිෂ්ඨානයකින් යුතුව කැපවීමෙන් ක්‍රියාකොට ලද මේ ජයග්‍රහණයත් සමඟ ඉදිරියට ගිය හමුදාවෝ 2007 ජූලි 19 දා වනවිට නැඟෙනහිර පළාතේ කොටි බලය මුළුමනින්ම විනාශ කර දමා රටට සුවිශාල ජයග්‍රහණයක් අත්කර දුන්හ. පළමුව නැඟෙනහිර පළාත මුදාගත් හමුදාව එහි සාමය ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්හ.

“නැඟෙනහිර නවෝදය” නමින් යෝධ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ ඉන් අනතුරුවය. ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුන ආවරණය වන ලංකාවේ දෙවැනි විශාලතම පළාත ලෙස සැලකෙන එනම් වර්ග කි.මී. 9361 ක් තරම් වූ භූමියට සංවර්ධනය රැගෙන යෑම ඇරඹිණි.

කොටි ග්‍රහණයෙන් මුදාගත් නැඟෙනහිර පළාතේ සංවර්ධන කටයුතු රජය සිදුකළේ කරුණු තුනක් මුල්කරගෙනය.

01. ආරක්ෂාව සහතික කිරීම,

02. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම,

03. මානව හා භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම එම කරුණු තුනයි. යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර පළාත් ජනතාව දිගුකලක් මුළුල්ලේ ප්‍රාර්ථනා කළ “සාමය” උදාවීමත් සමඟ සංවර්ධනය කරා රැගෙන යෑම රජය මුහුණ දුන් මූලික අභියෝගය විය. තිස් වසරක් පුරා වගා නොකොට පාළුවට ගිය කුඹුරු අක්කර ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් යළි අස්වැද්දවීම කෘෂිකාර්මික සංවර්ධනය යටතේද නව කර්මාන්ත ස්ථාපනය කිරීම කර්මාන්ත අංශය යටතේද මානව සම්පත් නව ආර්ථික අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සකස් කිරීම සේවා අංශය යටතේ දියුණු කෙරුණි.

නැඟෙනහිර පළාත් ජනතාවගේ මූලික හඳුනා ගැනීමේ මගක් ලෙස ජාතික හැඳුනුම්පත් ලබාදීම, විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර වැනි දේ සැපයීම පමණක් නොව උප්පැන්න, මරණ යනාදි සහතික නිකුත් කිරීම දින 180 ක් වැනි කෙටි කාලයක් තුළ සිදුකෙරුණි.

පළාතේ ආරක්ෂාව සහතික කරමින් ගොවි ජනතාවට වඩාත් ආරක්ෂාකාරීව ගොවිතැනට පිවිසීමට හැකිවන සේ ප්‍රදේශය පුරා වළලා තිබූ බිම් බෝම්බ, මර උගුල් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ගලවා ඉවත් කැරිණි. ධීවර කටයුතු සඳහා එතෙක් පනවා තිබූ දැඩි නීති රීති ලිහිල් කෙරුණි. ඒ අනුව දවසේ පැය 24 න් පැය 05 කට 06 කට සීමා වී තිබූ එම කර්මාන්තයේ නියැලීමේ කාලය දීර්ඝ කෙරිණි. ඉන් ධීවර ජනතාව ලද අස්වැසිල්ල සේම ඔවුන්ගේ ආදායමද ඉහළ නැංවිණි.

නැඟෙනහිර පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම මුල්කොටගෙන පළමුව මඩකලපු දිස්ත්‍රික්කයේ එතෙක් පළාත් පාලන මැතිවරණ පවත්වා නොතිබූ මැතිවරණ කොට්ඨාස දහයක පුංචි ඡන්දය පැවැත්විණි. දෙවනුව විසි වසරකට පසු නැඟෙනහිර පළාත් ජනතාවට පළාත් සභා මැතිවරණයට ඡන්දය ලබාදීමට හිමිකම් ලබාදුනි. ඒ අනුව 2008 මැයි 10 වෙනි සෙනසුරාදා පළාත් සභා මැතිවරණය පැවැත්විණි.

සේවා අංශයේ නවෝදය උදෙසා විශාල ලෙස බර දැමූ රජය විසින් එම පළාතේ තරුණ තරුණියන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ හඳුන්වා දුනි. මේ අතර, වෘත්තීය අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය නැංවිනි.

මෙලෙස ඇරැඹි නැඟෙනහිර නවෝදය වැඩසටහනේ කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ, පළාත පුරා විසුරුණු මාර්ග, විදුලිබල, සන්නිවේදන, ජලසම්පාදන, වරාය හා සිවිල් ගුවන් සේවා යන ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය. නිවාස, පාසල්, සෞඛ්‍ය, පෝෂණය වැනි මහජන උපයෝගිතා යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කෙරුණි. කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති මේ භූමිය ඉන් නිදහස් කර ගන්නවාත් සමඟම එහි පෙර කී යටිතල පහසුකම් නංවාලීමට රජය රුපියල් කෝටි දහ දහසකට වඩා වැය කළේය. ගොවිතැනට සුදුසු ලෙස නැවත බිම් සැකසීමට, දියුණු යන්ත්‍රෝපකරණ ලබාදුනි.

නවීන බීජ හා පොහොර ජනතාවට නොමිලයේ ලබාදුනි. ඒ අනුව, පුරන් කුඹුරු අක්කර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක වී ගොවිතැන ඇරැඹිනි. බඩඉරිඟු, එළවළු සහ පළතුරු තවත් අක්කර දහස් ගණනක වගා කෙරුණි. මේවා සියල්ල කෙමින් කෙමින් දියුණුව කරා මේ වනවිට පැමිණ තිබේ.

මේ සියල්ල සිදුකරන අතර, යුද්ධයෙන් අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකබලා ගනිමින් නැවත තම මුල් ගම්බිම්වල පදිංචි කිරීම සඳහා රජය ක්‍රියා කළේ, එවැනි දේ පිළිබඳ ලෝක මට්ටමින් සොයා බලන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසන් සභාවේ ඇස් පවා උඩහරිමිනි. නැතිනම් ඔවුන් පවා පුදුමයට පත්කරවන මවිත කරවන අන්දමිනි. කොටි පාලන සමයේ තමන්ගේ ගම් බිම්වලට යාමට හරි හැටි පාරක් තොටක් නොතිබූ ජනතාවට නව අධිවේගී මාර්ග දර්ශනීය පාලම් සහිත මහමාර්ග පද්ධති ඉඳිවුණි. විදුලි බලය ලැබුණි. රෝහල්, පාසල්, ජලාශ, වැව් අමුණු, ජලපවාහන සහ ජල බස්නා ඇළවේලී ඉදිවිණි.

මේ අන්දමට නැඟෙනහිර ජනතාව ලද ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික නිදහස උතුරු පළාත් ජනතාවට හිමිකර දීම රජය මුහුණ දුන් දෙවැනි අභියෝගය විය. ඒ වනවිටත් මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක පහේ ත්‍රස්තවාදීහු හොල්මන් කරමින් සිටියහ. කොටින්ගේ බලය උතුරුකරයෙන් විනාශ කිරීම ආරක්ෂක හමුදාවෝ සිදුකළේ දැඩි කැපවීමෙනි. ඉවසීමෙනි. ඉන් ලද ජයට හරියටම අදට වසරකි.

උතුරු පළාත කොටින්ගේ අවසන් බලාපොරොත්තුව ලෙස තබා ගැනීමට පිරිබාහරන්ට නොහැකිවුණි. ලක්ෂ තුනකට අධික පිරිසක් බාල, තරුණ, මහළු යනාදි වයස් භේදයකින් තොරව අවතැන් වෙද්දි රණබිමේදී කොටි පරදවාලීමට හමුදාවෝ ක්‍රියාකළහ.

මෙලෙස අවතැන් වූ ලක්ෂ තුනකට අධික ජනතාව අව්, වැසි, ලෙඩ, දුක්, වසංගත වැනි පීඩාවන්ගෙන් විපතට පත්නොවී රැකබලා ගැනීමට රජය දැඩි වෙහෙසක් ගත්හ. අන්තර්ජාතික ප්‍රජාව කොටි ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට පෙළ ගැසී සිටියහ. ඔවුහු මෙලෙස අවතැන් ජනතාවගේ අයිතීන් ගැන පමණක් කථා කොට මානුෂීය මෙහෙයුම් නවතා දමන්නැයි රජයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරමින් සිටියේය. ඒවා සියල්ලටම ඉතා සාවදානව අවධානය යොමු කළ රජය ඉන්පසු නොබැස, සහන ගම්මාන කරා පැමිණෙන පිරිස දිනාගන්නා අතරම, මෙහෙයුම්ද නතර නොකොට දිගටම ක්‍රියාත්මක කළහ.

උතුරු පළාත කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ අවසන් මෙහෙයුම් අවස්ථාවේදී පලා ආ ජනතාව රඳවා ගැනීම සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුබසාධක මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කෙරුණි. කදිරගාමර් සහන ගම්මානයේ රාමනාදන්, කුමාරස්වාමි, අරුණාචලම් සහ තිරුචෙල්ලම් සහන ගම්මාන ඉදිකෙරිණි.

මේවායේ ආහාරපාන, පානීය ජලය, බෙහෙත් හේත්, උපරිම අයුරින් ජනතාවට සැපයිණි. එපමණක් නොව ළදරුවන්ට දැඩි සනීපාආරක්ෂාව, පෝෂණ මට්ටම්, පූර්ව ළමාවිය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විණි. නව පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, බැංකු සමූපකාර අලෙවිසැල්, දුරකථන පහසුකම් ලබාදුනි. මෙලෙස සුබසාධන මධ්‍යස්ථානවල සිටි තරුණයින්ට විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට ඉඩකඩ ලබාදුණි. නව රැකියා අවස්ථාව සලස්වාදුනි.

දිගුකාලයක් මෙවැනි ගම්මානවල ජීවත්වීමට ජනතාවට ඉඩ ලබාදීම වෙනුවට බිම් බෝම්බ, මර උඟුල් ඉවත්කොට ඔවුහු මුල් ගම්බිම්වල නැවත පදිංචි කිරීම රජයේ අරමුණ විය. ඒ අනුව ඉතා කඩිනමින් වවුනියාව, මන්නාරම, දිස්ත්‍රික්කවල මේ ක්‍රියාවලිය සිදුකෙරුණි. මේ වනවිට කිලිනොච්චිය, මුලතිව්හි පවා නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ. තුන් ලක්ෂයකට අධික පිරිසකගෙන් මේ වනවිට සුභසාධන මධ්‍යස්ථානවල සිටිනුයේ අසූ දහසකට අඩු පිරිසකි.

නැඟෙනහිර සහ උතුරු පළාතේ කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ නව ජවයකින් රටේ ආර්ථිකයේ දියුණුවක් සිදුකිරීම රජයේ බලාපොරොත්තුවයි. ඒ අනුව, හැකිතරම් ආර්ථික යටිතල පහසුකම් නංවාලන රජය පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ එහි ජනතාවගේ අතමිටි සරු කිරීමට පියවර ගනිමින් සිටී.

කැඩී බිඳී විනාශ වී ගිය වැව්, අමුණු යළි ප්‍රතිසංස්කරණය කොට ගොවිතැනට විශාල ලෙස දිරිදීමට රජය ක්‍රියා කොට ඇත. එමෙන්ම මේ දෙපළාතේ තිබෙන ස්වභාවික, සුන්දර, පරිසර දායාදයන් සංචාරක ආකර්ශනීය ස්ථාන බවට පත්කොට ඒ ඔස්සේ එහි ආර්ථික නවෝදයක් ඇති කිරීමට මුල්පියවර තබා තිබේ.

ධීවර, වාණිජ හා වෙළෙඳ, බැංකු, හා රක්ෂණ, තොරතුරු තාක්ෂණය, කලාව හා සංස්කෘතික අංශයන්ගේ දියුණුව උදෙසා අවශ්‍ය දිරිදීම් ලබාදීමට රජය දැනටමත් ක්‍රියාකොට තිබේ. ඒ අනුව, නව දෙස් විදෙස් ආයෝජකයෝ මෙහි පැමිණ රුපියල් මිලියන ගණනින් ආයෝජන ඇරැඹීමට පටන්ගෙන ඇත. ලොව ඕනෑම රටක සංවර්ධනය උදෙසා සාමය පැවතීම අත්‍යවශ්‍යය. මේ බව මනාව වටහා ගත් රජය එය සුරැකිමින් නව ලොව අවස්ථා උතුරු සහ නැඟෙනහිර ජනතාවට ලබාදීමට සත්භාවයෙන් යුතුව ක්‍රියාකොට ඇත. ඒ අනුව නුදුරේදීම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද රජය සූදානම් වේ.

ශ්‍රී ලාංකීය ජාතිය එක මවකගේ දරුවෝ ලෙස අභිමානවත්ව ලොව ඉදිරියට රැගෙන යෑම විනා ජාති, ආගම්, කුල හා වෙනත් භේදවලින් පීඩාවට පත්කිරීමට රජය කිසිවිටෙකත් ක්‍රියානොකරන බව අපි මේ මොහොතේ දැඩිව අවධාරණය කරන්නෙමු. එබැවින් මේ එළැඹි ස්වර්ණමය අවස්ථාවෙන් වඩාත් ඵලදායි සේවාවක් මව්බිමට ලබාදීමට දෙස් විදෙස් හි වෙසෙන රටට හිතැති සියලුදෙනාගෙන්ම එකාමෙන් අත්වැල් බැඳ ගන්නා මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

යුද බිය නැති සාමය හා සමෘද්ධිය සහිත සෞභාග්‍යමත් ශ්‍රීී ලංකාවක් මතු පරපුරට උරුම කරදීම වර්තමානයේ වැඩිහිටියෝ වන අප සැමගේ වගකීම වේ. මේ අත්නොහැරිය හැකි වගකීම් සමුදාය එලෙසින්ම ඉටුකිරීමට අපි කැප වන්නෙමු. එය කෙතරම් අභියෝගාත්මක කාර්යයක් වුව ජයග්‍රහණයෙන් තොරව පිටුපස බැලීමට අපි සූදානම් නැති බව ජාතියට සපථ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා