ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ ගුරු රස්සා

ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ ගුරු රස්සා

ඇමැති තානාපති කතා පල දරයි

ශ්‍රීලාංකික ඉංග්‍රීසි ගුරුවරුන් දෙදහසකට කොරියාවේ පාසල්හි ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය කිරීම සඳහා ළඟදීම අවස්ථාව උදාවේ. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චොයි කි චුල් මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ අවස්ථාව ලබාදීමට එකඟත්වය පල කෙළේ ය.

දෙවර්ෂයක කාලයක් කොන්ත්‍රාත් පදනමින් කොරියාවේ පාසල්වල ඉගැන්වීමට මේ ඉංග්‍රීසි ගුරුවරුන්ට අවස්ථාව ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට කොරියාවේ පාසල් හී ගුරු රැකියා ලැබෙන ප්‍රථම අවස්ථාව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැති පදවියට පත් වීමෙන් පසු පැවැති පළමු සාකච්ඡාවේදීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය සඳහා සුවිශේෂ අනුග්‍රහයක් දැක්වීමට කොරියානු තානාපතිවරයා කැමැත්ත පළ කෙළේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් සඳහා කොරියානු රජයේ සමාගමක් මගින් ඩිජිටල් පියානෝ දෙදහසක් සහ කළු ලෑලි පනස් දහසක් ලබාදීමටත් තානාපතිවරයා එකඟ විය. කොරියාවේ කොයිනා ආයතනයේ ප්‍රතිපාදනවලින් ගුරු පුහුණු මධ්‍යස්ථානයක් හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමටද සාකච්ඡාවේදී එකඟත්වය පළ කැරිණි.

කොරියානු පාසල් සිසුන්ට ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා සපුරා දීම සඳහා පාසලක් ආරම්භ කිරීමට ඉඩමක් ලබාදීමට අධ්‍යාපන ඇමැතිවරයා මෙහිදී එකඟ විය. මේ සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතාද සහභාගී විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා