උතුරේ ජනතාවගේ බිඳුණු සිත් සවිමත් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හැකි වේවි

උතුරේ ජනතාවගේ බිඳුණු සිත් සවිමත් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හැකි වේවි

- ඇමැති විමල් වීරවංශ

උතුරේ ජනතාවගේ සිඳී බිඳී ගිය සිත් නැවත එකතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට නාමල් රාජපක්ෂ මහතා වැනි නවක මන්ත්‍රීවරුන් ඉදිරිපත් වීම සතුටට කරුණක් බව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් පිළිබඳ ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.

උතුරේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇමැති විමල් වීරවංශ මහතා අදහස් දැක් වූ අයුරු. උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් වයි. කේදිස්වරන් මහත්මියද මෙහි සිටිති.
ඡායාරූපය-සුසන්ත විජේගුණසේකර

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පැවැති සාකච්ඡාවකදීය.

ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. අද අප මෙහිදී ප්‍රදේශයේ නිවාස, මහාමාර්ග, තරුණ කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපන, පොදු පහසුකම් ආදිය පිළිබඳව සමාලෝචනයක් කළා.

එහිදී කඩිනම් කළයුතු කටයුතු රාශියක් පිළිබඳව අනාවරණය වුණා. අප නවක මන්ත්‍රී කණ්ඩායම ඒ ඒ ක්‍ෂේත්‍ර පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට සූදානමින් සිටිනවා. ඒ සඳහා විවිධ අමාත්‍යාංශවල සහාය ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා ඇති. අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසනවා. රජයේ සේවකයන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ඇරඹීමටත් පොරොන්දු වෙනවා.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ ක්ෂේත්‍රයන් බෙදාදීමද මෙහිදී සිදුකෙරිණි.

ඒ අනුව උදිත් ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයාට අධ්‍යාපන ක්ෂේත්‍රයත් වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මන්ත්‍රීවරයා සහ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ඇමැති විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගම මහත්වරුන්ට නිවාස ක්ෂේත්‍රයත්, අරුන්දික ප්‍රනාන්දු සහ ෂෙහාන් සේමසිංහ මහත්වරුන්ට ධීවර ක්ෂේත්‍රයත්, නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර සහ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාට, විදුලිබල ක්ෂේත්‍රයත්, දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට ප්‍රවාහන ක්ෂේත්‍රයත්, රොෂාන් රණසිංහ මහතාට අත්‍යවශ්‍ය භාණ්ඩ ක්ෂේත්‍රයත්, කනක හේරත් මන්ත්‍රීවරයාට උප්පැන්න හා මරණ සහතික ක්ෂේත්‍රයත් භාරව පත් කෙරිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. ඒ. චන්ද්‍රසිරි මහතා සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් වයි. කේදිස්වරන් මහත්මියද මෙහි සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා