පාසල් පරිගණක මධ්‍යස්ථානවලින් සෙනසුරාදාටත් වැඩ ගන්න යයි

පාසල් පරිගණක මධ්‍යස්ථානවලින් සෙනසුරාදාටත් වැඩ ගන්න යයි

දැනට සෙනසුරාදා දිනවල වසා තිබෙන පාසල් පරිගණක මධ්‍යස්ථාන දරුවන්, ගුරුවරුන් සහ මවුපියන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සඳහා යොදා ගැනීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.

අධ්‍යාපන කලාපයක පිහිටි පරිගණක මධ්‍යස්ථාන පහසුකම් සහිත පාසල්වල මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් එම පහසුකම් නැති අවට පාසල්වල දරුවන් මවුපියන් හා ගුරුවරුන්ද ඒ සඳහා සහභාගි කර ගැනීමටත් ඇමැතිවරයා අදහස් කරයි.

මේ වැඩසටහන පළමුවෙන්ම හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 96 සම්බන්ධකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සෙනසුරාදා දිනවල සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන මේ වැඩ සටහනේ දී තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සඳහා ඒ පිළිබඳ විශේෂඥයන් හා පුහුණු ගුරුවරුන් ගේ සේවය ස්වේච්ඡා පදනමින් ලබාදීමට දැනටම විසිදෙනෙකු පමණ කැමැත්ත පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිනමිණට කීවේ ය.

සෙනසුරාදා දිනයේ වසා තැබෙන පාසල් පරිගණක මධ්‍යස්ථාන මෙසේ උපයෝගිකර ගන්නා අතර තවත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට එදින තුළ දරුවන් සහභාගි කර ගැනීමට ඇති හැකියාව ද අවධානයට යොමු වී ඇතැයිද එම නිළධාරියා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා