විපතට පත් වූවනට සහන සලසන්න සැලසුම් හා ඇස්තමේන්තු ලබා දෙන්න

විපතට පත් වූවනට සහන සලසන්න සැලසුම් හා ඇස්තමේන්තු ලබා දෙන්න

ජනපති

අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලැසීමට අවශ්‍ය සැලසුම්, ඇස්තමේන්තු සමඟ වහාම ලබා දෙන ලෙස රජය සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

මේ ජනතාවට සහන සැලැසීමට මෙන්ම දේපළවලට හා ගොවිතැන්වලට වන්දි ගෙවීමට අවශ්‍ය තරම් මුදල් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව රජය මේ දැනුම් දීම කර තිබේ.

මේ සඳහා අවශ්‍ය කෙටිකාලීන, දිගුකාලීන සහ ක්ෂණික සැලසුම්, ඇස්තමේන්තු සමඟ වහා ඉදිරිපත් කරන ලෙස කෙරුණු දැනුම් දීමට අනුව මේ වන විටත්  දස ලක්ෂ 35ක මුදලක් රජය විසින් මුදා හරිනු ලැබ ඇත. පසුගිය සතියේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක පවුල් 93955ක 407549 දෙනකු පීඩාවට ලක්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් දස ලක්ෂ 13ක් ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 70ක් සහ කළුතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 50ක් ලබාදී ඇති අතර විපතට පත් ජනතාවට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා ලෝක ආහාර වැඩසටහන මගින් රුපියල් දස ලක්ෂ 56ක් ලබා දී ඇත.

ගංවතුරින් හානියට පත් වූ නිවසකට රුපියල් 50000ක උපරිමයකට හා වගා හානිවලට රුපියල් 20000ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති අතර ජනතාවට අවශ්‍ය සහන ක්‍රමවත්ව බෙදා හැරෙති ද සොයා බැලීමට රජය විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. ගංවතුර බැස යාමත් සමඟ ඇති විය හැකි වසංගත රෝග අවදානම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා