සැඟවූ වී තොග සොයා රහස් පොලිස් මෙහෙයුම්

වී මෙ.ටො. ලක්ෂ 8ක් පෞද්ගලික අංශය භාරයේ

සැඟවූ වී තොග සොයා රහස් පොලිස් මෙහෙයුම්

පෞද්ගලික අංශය සඟවාගෙන සිටින වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 8ක් සොයා රහස් පොලිසිය අද (11) සිට මෙහෙයුම් ආරම්භ කරයි. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවසරය ද ලබාගෙන එම මෙහෙයුම් සිදු කෙරෙන බවයි.පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම්වලට අමතරව රහස් පොලිසිය මේ වැටලීම් සිදුකරයි.

පසුගිය කාලයේ රජය සතුව තබාගත් වී සංචිතයට අමතරව පෞද්ගලික අංශය සතුව වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 8ක් තිබේ. ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම්වල ද සහාය ඇතිව ඒවා සඟවා තැබීමට පෞද්ගලික අංශ මේ වන විට කටයුතු කර ඇත. එම වී තොග සඟවා තබා රටපුරා වී හිඟයක් මවාපා සහල් වැඩි මිලට විකිණීම මොවුන්ගේ අරමුණ වී තිබේ.

වැඩි මිලට සහල් විකිණීම පාලනය කිරීම සඳහා රජය ඊයේ (10) රජය සතු වී සංචිතයෙන් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් (25,000) නිකුත් කළේය.  ඉදිරි දින කීපය තුළ සහල් බවට පත් කෙරෙන ඒවා ස. තො. ස. ඇතුළු රජයේ වෙළඳ සල්වලින් පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා ගැනීමට ඉඩකඩ සලසා ඇති බවද ඇමැතිවරයා පවසයි.  වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් පෙරේදා (09) දිනය තුළ පමණක් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

වී සහ සහල් තොග සඟවාගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු රහස් පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියට දැනුම් දීමට අවස්ථාව සලසා ඇත. පිටකොටුවේ පමණක් වෙළඳුන් 30 දෙනකු රුපියල් 85ට සහල් විකුණා ඇත.  ඔවුන් විසින් වෙළඳුන්ට ඒ සඳහා වෙනම බිලක් නිකුත් කර ඇති බැවින් මොවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා