සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක් ආපසු ලබාගැනීමේ හැකියාව ළඟදීම

සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක් ආපසු ලබාගැනීමේ හැකියාව ළඟදීම

සේවක අර්ථසාධක අරමුදලේ සෑම සාමාජිකයෙකුට ම නිවසක් තැනීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ අරමුදලේ ශේෂයෙන් සියයට තිහක් ආපසු ලබා ගැනීමට හිමිකම ලබා දෙන පරිදි සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කැරිණි.කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා සේවක අර්ථ සාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කෙළේ ය.

අවුරුදු දහයකට නොඅඩු කාලයක් සඳහා දායක මුදල් ගෙවා තිබෙන දැනට සේවයේ නියැලෙන සේවකයකුට සිය ගිනුමේ රුපියල් තුන් ලක්ෂයකට නොඅඩු මුදලක බැර ශේෂයක් තිබේ නම් මෙම සියයට තිහක මුදල ආපසු ලබගත හැකි බව සංශෝධන පනතෙහි සඳහන් වේ. ගිනුමෙන් සියයට තිහක් ලබාගත් දින සිට අවුරුදු දහයක් ගිය පසුව දෙවැනි වරට ද සියයට තිහක ප්‍රතිශතයක් නොඉක්මවන මුදලක් නිවසක් තැනීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගැනීමට සංශෝධන පනතින් ඉඩකඩ ලැබේ.

ඒ ආකාරයට සෑම සාමාජිකයකුට ම තම ගිනුමෙන් අවස්ථා දෙකක දී පමණක් මුදල් ලබාගත හැකි ය. අර්ථ සාධක අරමුදලේ සාමාජිකයාට අයිති ඉඩමක නිවසක් ඉදිකිරීමට, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීමට නිවාස දේපළක් මිලදී ගැනීමට නිවාස දේපළ උකසක් බේරුම් කිරීමට හෝ අනුමත බැංකුවකින් ලබාගත් ණයක ඉතිරි මුදල බේරුම් කිරීම සඳහා මෙම සියයට තිහක මුදල සිය ගිණුමෙන් ආපසු ගැනීමට එම සාමාජිකයාට හිමිකම ඇත. හෘදය සැත්කමක්.

බයිපාස් සැත්කමක්, ඇතුළුව පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම, වකුගඩු බද්ධ කිරීම හෝ සැත්කම් සඳහාත් සිසේරියන් සැත්කමෙන් හෝ අනතුරක් සිදුවීම හේතුවෙන් දින දහහතරකට නොඅඩු කාලයක් රෝහල් ගතව ඇත්නම් ඒ සඳහා සිය ගිණුමේ ශේෂයෙන් සියයට තිහක මුදලක් ලබා ගැනීමට සාමාජිකයාට අවස්ථාව ලැබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හිමිකම සාමාජිකයාට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයාට සහ දරුවන්ට ද ලැබෙන බව සංශෝධන පනතෙහි සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා