ප්‍රවීණ රංගන ශිල්පී විනී වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විනී වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම අංග රචනා ශිල්පියෙකු වන විනී වෙත්තසිංහ මහතා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යනවිට 51 වැනි වියේ පසුවූ විනී වෙත්තසිංහ මහතා ගුරු උපදේශිකා ශ්‍රියානි මංගලිකා මහත්මියගේ සැමියා වේ. එක්දරු පියෙකු වන ඒ මහතා ප්‍රථමයෙන් රංගනයට පිවිසියේ සරත් කුලාංගගේ ‘මිදිවැල’ වේදිකා නාට්‍යයෙනි.

ජනක් පේ‍්‍රමලාල්ගේ ‘රාජ කපුරු’, ‘අබුද්දස්ස කෝලම’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක රඟපෑ විනී, එච්. ඩී. පේ‍්‍රමරත්නගේ ‘සෙයිලම’ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට ප්‍රවිෂ්ට විය. නාලන් මෙන්ඩිස්ගේ ‘දු දරුවෝ’, ‘නෑදෑයෝ’ දයාරත්න රටගෙදරගේ ‘බෝගල සවුන්දිරිස්, පේ‍්‍රමකුමාර් ජයවර්ධනගේ ‘පිනිබර යාමය’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක හේ විවිධ චරිත නිරූපණය කෙළේය.

වෘත්තියෙන් ගුරුවරයකු වන විනී වෙත්තසිංහ මහතාගේ දේහය ඔහුගේ නිවස පිහිටි බණ්ඩාරගම මිල්ලනිය දාමින්ගමුව නිවසේ දැනට තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 12 වැනිදා සෙනසුරාදා සවස 2 ට මිල්ලනිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා