පස්සර වැල්ලගොල්ල ගම නායයෑමෙන් තුනට කැඩේ

පස්සර වැල්ලගොල්ල ගම නායයෑමෙන් තුනට කැඩේ

අවතැන් වූවන්ට සහන සැපයීමත් ප්‍රශ්නයක්

පස්සර වැල්ලගොල්ල ගම බරපතළ ලෙස නාය යාමට ලක්වීම හේතුවෙන් එම ප්‍රදේශය කොටස් තුනකට වෙන් වී ඇතැයි පස්සර ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. මේ නිසා වැල්ලගොල්ල ගමේ මැද කොටසේ අවතැන් වී සිටින පිරිස් වෙත සහන සේවා සැපයීම ද ඉතාමත් අසීරු කරුණක් වී තිබේ. එම ප්‍රදේශයට වාහන ගමන් කිරීමට නොහැකි වන පරිදි නාය යාම් සිදුවී ඇත.

කෙල්බැද්ද වතුයායේ කැන්දගොල්ලට උඩින් පිහිටි කෑල්ලගල කන්ද පාමුල පිහිටි නිවාස තුනක් (03) මුළුමනින්ම නාය ගොස් ලොග්ගල්ලා ඔයට නිවාසවල කොටස් වැටී ගසා ගෙන ගොස් ඇත. අසල පිහිටි තේ වත්තක් ද සම්පූර්ණයෙන් නාය යාමකට ලක්වී තිබේ. කහටරුප්ප දඹකොටේ, අරලුගොල්ල, පාලාවත්ත, මඩුගස්තලාව උතුර සහ දකුණ අඹතැන්න තැන්නුගේ, නිකේබැද්ද යන ග්‍රාම නිලධාරි වසම්වල නාය යාම් හේතුවෙන් මාර්ග ද ගිලා බැසීම්වලට ලක් වී ඇත.

දැනට එම ප්‍රදේශයේ අවතැන් කඳවුරු 02 ක් පවත්වා ගෙන යයි. නිකේබැද්ද ආගරතැන්න දෙමළ විදුහලේ පවුල් 48 ක 155 දෙනෙක් රැඳී සිටිති. තවත් පවුල් 63 ක 229 ක් ඥාතීන් ගේ නිවෙස්වල රැඳී සිටින බව ද පස්සර ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා