දැයට කිරුළ නැරැඹීමට ලක්ෂ 25ක ජනකායක්

දැයට කිරුළ නැරැඹීමට ලක්ෂ 25ක ජනකායක්

‘දැයට කිරුළ’ 2011 ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරැඹීමට ලක්ෂ විසිපහකට අධික පිරිසක් ඊයේ දහවල් වනවිට පැමිණි බව දැයට කිරුළ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැයට කිරුළ ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙන ප්‍රධාන මාර්ග සියල්ල රථ වාහන වලින් හා ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

පෙබරවාරි 04 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කරනු ලැබූ මේ ප්‍රදර්ශනය, අගමැති දි.මු.ජයරත්න, කථානායක චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවති අති උත්කර්ශවත් සමාප්ති උත්සවයෙන් නිමාවට පත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂ නායකයන් , කැබිනට් අමාත්‍යවරුන්, ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් සභා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මහජන මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු විශාල පිරිසක් මේ සමාප්ති උත්සවයට සහභාගී වී සිටියහ. 

දැයට කිරුළ 2011 ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලැබූ තරග වලින් ජයග්‍රහණ ලැබූ අයට වටිනා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය අගමැති දි.මු. ජයරත්න මහතා අතින් ඊයේ(10)සිදුවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා