බාලවයස්කාරියකට හදි කළාට වසර 27ක සිරදඬුවමක්

බාලවයස්කාරියකට හදි කළාට වසර 27ක සිරදඬුවමක්

දැරියට ලක්‍ෂ 10ක වන්දි

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ හා ඇය අපහරණය කිරීමේ අධි චෝදනාවලට වරදකරු වූ තිස් හැවිරිදි විවාහකයකුට බරපතළ වැඩ ඇතිව වසර විසිහතක සිරදඬුවමක් ද, රුපියල් දෙලක්‍ෂයක දඩයක් ද නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා, සිද්ධියට අදාළ දැරියට රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය. මෙවැනි අපරාධ මින් මතුවට නොවීමට සමාජය වගබලා ගත යුතු ආකාරයට දැඩි දඬුවම් පැමිණිය යුතුව ඇතැයි ද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේය.

මෙසේ සිරදඬුවමට ලක්වූයේ කරන්දෙණිය උණගස්වල පදිංචිකරුවකු වන ගුණරත්න ඒකනායකගේ පියසේන නමැත්තෙකි. 2002 වර්ෂයේ සැප්තැම්බර් මස 2 වැනි දින හා 2002 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින අතර කාලයේ දී බාලවයස්කාර දැරියක දූෂණය කිරීම හා ලිංගික අතවර කිරීමේ පළමු අධිචෝදනාවට වරදකරු වීම නිසා බරපතළ වැඩ ඇතිව වසර විස්සක සිරදඬුවමක් ද, රුපියල් ලක්‍ෂයක දඩයක් ද, ගෙවන ලෙස වරදකරුට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, සිද්ධියට අදාළ දැරියට රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

මෙම දඩ මුදල නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත මාස හයක සිරදඬුවමක් ද, වන්දි මුදල නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත මාස නමයක සිරදඬුවමක් ද නියම කළේය. බාලවයස්කාර දැරිය අපහරණය කිරීමේ දෙවැනි අධි චෝදනාවට වරදකරු වූ හෙයින් එයට බරපතළ වැඩ ඇතිව වසර හතක සිරදඬුවමක් ද, රුපියල් ලක්‍ෂයක දඩ මුදලක් ද, එම මුදල නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත මාස හයක සිරදඬුවමක් ද නියම කළේය.

මෙම බරපතළ වැඩ ඇතිව වන සිරදඬුවම හා සැහැල්ලු වැඩ ඇතිව වන සිරදඬුවම එකිනෙක අනුපිළිවෙළින් ගෙවී යා යුතු බව ද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගයාන් මල්ලියාවඩු මහතා ද, පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අසේල සේරසිංහ මහතා ද පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා