හානි වූ ප්‍රදේශ ගොඩනැඟීමට රුපියල් කෝටි 3300ක් ඕනෑ

ස්වාභාවික උවදුරුවලින් ලක්ෂ 11ක් අවතැන්

හානි වූ ප්‍රදේශ ගොඩනැඟීමට රුපියල් කෝටි 3300ක් ඕනෑ

ජනපති මතුගම දී කියයි

ස්වාභාවික උවදුරු නිසා ලක්‍ෂ 11ක පමණ ජනතාවක් අවතැන්ව සිටිති. ඒ ප්‍රදේශ නැවත ගොඩනැඟීමට රුපියල් කෝටි 3300ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. උවදුරු සිදුවූ ප්‍රදේශවල ජනතාව දායක කරගෙන නැවත ගොඩනැගීමේ කටයුතු වහාම ආරම්භ කරන බවද ඒ මහතා පවසයි. සමහරුන් කියන විදියට වැස්සත් පාලකයා වැරදියි. පෑව්වත් පාලකයා වැරදියි. සමහරු කියනවා පාලකයා හොඳ නම් වහින්නේ නෑ කියලා.

අපේ අරමුණ මේවාට පිළිතුරු දීම නොව විපතට පත් ජනතාව නැවත ගොඩනැගීම බවද ජනාධිපතිවරයා පැවසීය.ගංවතුර, නායයෑම් ආදිය සිදුවන්නේත් පාලකයාගේ වරදින් බවට මතයක් ඇති කිරීමේ උත්සාහයක ඇතැමුන් නිරත වන්නේ යැයිද එතුමා ප්‍රකාශ කළේය. ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ සංකල්පයක් අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවර පළමු ශ්‍රේණියට තේරීපත් සියලු පාසල් දරුදැරියන්ට පාසල් පොත්, උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මේ උත්සවය පැවැත්විණි. මේ ආපදා තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බව පැවැසූ ජනාධිපතිවරයා සංවේදීව සිතා මේ ප්‍රදේශ ගොඩනැගීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව අවධාරණය කෙළේය. “මේ ස්වාභාවික උවදුරු නිසා අපේ ගොවි ජනතාවගේ එළවළු, වී, බඩඉරිඟු වගා විනාශ වෙලා.  ඒ නිසා ගම් සංවර්ධනයේදී ඔවුන්ගේ දායකත්වයත් ලබා ගත යුතුයි” ජනාධිපතිතුමා පැවැසීය.

ඇමැතිවරුන් වන කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා, ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා