ඡන්දයට ගිය වියදම හොයන්න පැරැදුණු ජනතා නියෝජිතයා රට වටේ හොරකමේ ගිහින්

ඡන්දයට ගිය වියදම හොයන්න

පැරැදුණු ජනතා නියෝජිතයා රට වටේ හොරකමේ ගිහින්

රාත්‍රී කාලයන්හිදී වෙළෙඳ සල්වලට ඇතුළු වී රුපියල් ලක්‍ෂ හැටකට ආසන්න විදුලි උපකරණ, කැමරා, පරිගණක, ජංගම දුරකථන ඇතුළු වටිනා ගෘහ උපකරණ රාශියක් හොරාගන්නා සැකකරුවන් දෙදෙනකු කොහුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොලොන්නාව නගර සභාවට තරගකර පරාජයවූ අපේක්‍ෂකයකු වේ.

පසුගිය 12 වැනි දින රාත්‍රියේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක මහතාගේ අධීක්‍ෂණයෙන් පැවැති අපරාධ නිවාරණ මෙහෙයුමට සහභාගිවී සිටි කොහුවල පොලිසියේ නිලධාරීන්ට ලත් තොරතුරක් මත කොහුවල නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳ සලකට අලුයම 2.00ට පමණ ඇතුළුවී භාණ්ඩ සොරාගනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි.

හොරාගන්නා ලද භාණ්ඩවලින් කොටසක්
ඡායාරූපය – රාවතාවත්ත සමූහ රෝහන ද සිල්වා

මාලිඳ, කපුගොඩ පදිංචි 18 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් අඩංගු පැකට්ටුවක් ද සොයාගැනීමෙන් අනතුරුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දෙදෙනා එක්ව කරන ලද මහ පරිමාණයේ හොරකම් රාශියක් අනාවරණය කර ගැනීමට කොහුවල පොලිස් ස්ථානාධිපති රොෂාන් රාජපක්‍ෂ මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන මහතාට හැකිවී තිබේ.

මොවුන් විසින් කොහුවල, තලංගම, අතුරුගිරිය, වැලිවිට, මිරිහාන, මහරගම, කඩවත ප්‍රදේශයන්හි වෙළෙඳ සල් 21ක් බිඳ බඩු භාණ්ඩ සොරාගෙන ඇත. සැකකරුවන් දෙදෙනාම මත්ද්‍රව්‍ය (හෙරොයින්) සඳහා ඇබ්බැහිවූ අය බව පොලිසිය පවසා සිටියි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට තරගකොට පරාජයවූ එක් සැකකරුවකු ව්‍යාපාරිකයෙකි. තමා එම මැතිවරණය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතලිහක මුදලක් වියදම් කළ බැවින් එම මුදල සොයාගැනීම සඳහා මෙලෙස හොරකමේ නිරතවූ බව ප්‍රකාශ කර ඇත. සැකකරුවන් 20 දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

නියෝජ්‍ය පොලිස්පති අයි. එම්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත ගල්කිස්ස පොලිස් අධිකාරී රවින්ද්‍ර කරවිට මහතාගේ මෙහෙයවීමෙන් කොහුවල පොලිස් ස්ථානාධිපති රොෂාන් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන, උප පො. පරීක්‍ෂක සමන්, උප පො. ප. රසික, උප. පො. ප. ප්‍රදීප්. පොලිස් සැරයන් 5550 ගජනායක, පො. කො. 33789 දයාසිරි, 38080 රණසිංහ, 37718 රුක්මන්, 87646 ගයාන්, 78828 ගීතපි‍්‍රය සහ කාන්තා පොලිස් කොස්තාපල් මයුරිකා පරීක්‍ෂණ සඳහා සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා