වසර 9කට පෙර අතුරුදන් වූ බව කී සැමියාගේ ඝාතනයට බිරිය සැකපිට

වසර 9කට පෙර අතුරුදන් වූ බව කී සැමියාගේ ඝාතනයට බිරිය සැකපිට

අනියම් සැමියාත් හවුල්

වසර නවයකට පෙර අතුරුදන් වූ බව කියන නෙළුව නාකන්ද කොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය හා අනියම් සැමියා පෙරේදා (20) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනය වී ඇත්තේ කකුලේ ලියනගේ ශාන්ත නමැත්තෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කත සිය සැමියා ඝාතනය කර වැසිකිළි වළකට දැමූ බවට පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත.පහර දී සැමියා ඝාතනය කිරීමට සිය අනියම් සැමියා ද හවුල් වූ බව ඇය සඳහන් කර තිබේ. වර්ෂ 2003 දී තම සැමියා අතුරුදන් බවට සැකකාර කත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අතුරුදන් අය ගැන කිසිදු තොරතුරක් නොමැතිව තිබියදී ඉකුත් 20 දා නෙළුව පොලිසියට ලැබුණ නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිකර ඇත.

මේ අනුව අදාළ කාන්තාව හා පුරුෂයා අත්අඩංගුවට ගෙන පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඝාතනය පිළිබඳ හෙළිකර තිබේ. සිද්ධිය හෙළිවීමෙන් පසු අපරාධ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට නෙළුව පොලිසිය පියවර ගෙන තිබේ. අපරාධය පිළිබඳ කරුණු ගොනුකළ වාර්තාවක් ඊයේ (21) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි. නෙළුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා