හැටන්-කොළඹ පාරේ කුඩා දරුවන් යොදවා එළවළු විකුණන ජාවාරමක්

හැටන්-කොළඹ පාරේ කුඩා දරුවන් යොදවා එළවළු විකුණන ජාවාරමක්

හැටන් කොළඹ මාර්ගයේ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ට කුඩා දරුවන් උපයෝගී කැරගෙන එළවළු හා පලා වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ළමුන් අනතුරුදායක ලෙස වාහන ඉදිරියට යන අයුරු.

එම මාර්ගයේ කොසිල්වත්ත සිට වටවල දක්වා වූ වංගු සහිත ස්ථාන තුනක අවුරුදු 6 ත් 10 ත් අතර පසුවන දරුවෝ එළවළු අලෙවි කිරීම සඳහා මෙසේ යොදවනු ලැබ සිටිති.වාහනවල ගමන් ගන්නා පිරිස් වෙතින් අනුකම්පාව දිනාගැනීම සඳහා මෙම පාසල් ළමුන් එළවළු අලෙවියට යොදවා ඇති අතර මෙම දරුවන් පාසල් නොයවා මෙම කාර්යයෙහි යොදවා තිබෙන බව ද පැවසේ.

වේගයෙන් පැමිණෙන වාහන ඉදිරියට ඉතා අනතුරුදායක ලෙස මෙම දරුවන් දිවගොස් එම වාහන නතර කළ පසු ඒවාහි ගමන් ගන්නා උදවියට විවිධ අසරණකම් කියාපා එළවළු අලෙවි කිරීමට ජාවාරම්කරු උපදෙස් ලබා දී ඇති අතර දරුවන් ද එය ඒ ආකාරයෙන්ම සිදුකරනු දක්නට ලැබිණි.

එළවළු අලෙවි කළ පසු මුදල් ඒ මොහොතේම ඔවුන් අදාළ කාර්යයේ යොදවා ඇති පුද්ගලයාට දරුවන් විසින් ලබාදෙන අතර පස්වරුවේ නිවසට යන විට එම පුද්ගලයා ළමුන්ට සුළු මුදලක් ලබා දෙන බව වාර්තා වෙයි. කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වගකිවයුතු නිලධාරීන් රැසක් දෛනිකව ගමන් ගන්නා නමුත් ඔවුනට මෙම නීති විරෝධී ක්‍රියාව නොපෙනීම කනගාටුවට කරුණක් බව ප්‍රදේශවාසීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා