උතුරු නැඟෙනහිර වැඩපිළිවෙළ කිසිසේත් නතර කරන්නේ නෑ

ජිනීවා තීන්දුව කුමක් වූවත්

උතුරු නැඟෙනහිර වැඩපිළිවෙළ කිසිසේත් නතර කරන්නේ නෑ

ජනපති ඇමැති මණ්ඩලයට දැනුම් දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කැර ඇති යෝජනාව හේතුවෙන් කුමන ප්‍රතිඵලයක් ඇතිවුවද ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලයට පෙරේදා දැනුම් දී ඇත.

කවුරුන් කුමක් කීවද උතුරු නැඟෙනහිර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙළ ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කැර තිබේ.

වැඩබලන ජනමාධ්‍ය ඇමැති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන තත්ත්වය හමුවේ විපක්ෂය හැසිරෙන ආකාරය පිළිබඳ තමන් කනගාටුවට පත්වන බවද අබේවර්ධන මහතා කීවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හතරදෙනකු සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත්, ප්‍රධාන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු මේ වන විට ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙමින් සිටින බවත් හෙතෙම අනාවරණය කෙළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසුමේදී සාමාජික රටවලට අවසන් මොහොත දක්වාම විවිධ බලපෑම් එල්ලවිය හැකි යැයිද, මේ නිසාම ඇතැම් විට එම රටවලට හෘද සාක්ෂියට අනුව ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි යයිද ඒ සම්බන්ධයෙන් මතු කැරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසීය. මේ කුමන තත්ත්වයක් උද්ගත වුවද එයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ඒ මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා