ලංගම වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක්

ලංගම වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක්

ඇමැති කුමාර වෙල්ගම

වැටුප් ප්‍රශ්නයක් ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ලංගම ඩිපෝ කිහිපයක් අරඹා තිබූ වර්ජනයට ඊයේ (14) වන විට රට පුරා සියලුම ඩිපෝ එක්ව තිබිණි.

ඊයේ එකම ලංගම බස්රථයක්වත් ධාවනය නොවූ අතර, මේ නිසා මගී ජනතාව, රැකියා සඳහා යන සේවක සේවිකාවන් හා පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියහ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් පෙරේදා (13) ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ලංගම සේවක වැටුප් වැඩි කළ යුතු බවට ජනාධිපතිතුමා ද පිළිගත් බව ප්‍රවාහන ඇමැතිවරයා කීවේය.

මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

නුවර දකුණු ඩිපෝව ඉකුත් 13 වැනිදා ඇරඹූ මෙම වර්ජනයට රියදුරු කොන්දොස්තරවරු, කාර්මික ශිල්පීහු එක්ව සිටියහ.

ලංගම සේවක වැටුප් ගෙවීම සඳහා ඊයේ භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 1200ක් ද ඊට අමතරව ලංගමයෙන් රුපියල් ලක්ෂ 150ක්ද ලබාදුන් බවත්, ඊයේ දහවල් වන විට සියලුම වැටුප් ගෙවා අවසන් කළ බවත් ලංගම පැවසීය.

ලංගම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වාර්තාව ලැබුණු පසුව ඒ පිළිබඳ කටයුතු කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

කිසිදු දැනුම්දීමක් පවා නොමැතිව කරන මෙම වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා