හයිකෝප් නඩුවෙන් ෆොන්සේකා නිදහස්

හයිකෝප් නඩුවෙන් ෆොන්සේකා නිදහස්

යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ සැපයීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කිරීමට තම බෑණාට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් පවරා තිබූ “හයිකෝප්” නඩුවෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාව ඊයේ (15) නිදොස් කොට නිදහස් කරන ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතා එසේ නිදොස් කොට නිදහස් කරන ලද්දේ මේ චෝදනා මතම දෙවැනි යුධාධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට දඬුවම් නියම කර ඇති හෙයින් එකම චෝදනාවකට අධිකරණ දෙකක නඩු පැවැරිය නොහැකි බව සඳහන් කරමිනි.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා තිබූ දෙවැනි යුද්ධාධිකරණයත් මේ නඩුවත් දෙකම එකක් බව තීන්දු කළ විනිසුරුවරයා එකම චෝදනාවක් පදනම් කර ගනිමින් එකම පුද්ගලයකුට එරෙහිව අධිකරණ දෙකක නඩු පැවැරිය නොහැකි බවට පෙන්වා දුන්නේය.

යුද්ධාධිකරණයට නිසි බලයක් ඇති අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇති බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

”හයිකෝප්” වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන දනුන තිලකරත්නට විරුද්ධව නඩුව ලබන මැයි මස 03 වැනිදාට විභාගයට ගැනීමට විනිසුරුවරයා ඊයේ (15) තීරණය කෙළේය.

නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේ මහාධිකරණ භාෂා පරිවර්තක එස්. ඒ. එම්. හෆ්ලි මතා විසින් පිටු විසි පහකින් සමන්විත වූ මේ නඩු තීන්දුව කියවන ලදී.

එකම පුද්ගලයකුට එරෙහිව එකම සිද්ධියක් පදනම් කර ගනිමින් අධිකරණ දෙකක නඩු පැවැරිය නොහැකි බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා විසින් මතු කළ මූලික විරෝධතා අනුව දෙවැනි යුද්ධාධිකරණයේ චෝදනා හා “හයිකෝප්” නඩුවේ චෝදනා එකම ද? නැද්ද? යන්න තීන්දුව ප්‍රකාශ කිරීම විනිසුරුවරයා ඊයේ (15) දිනට කල් තබා තිබුණි.

”හයිකෝප්” නඩුවේ චෝදනා මතම සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවැනි යුද්ධාධිකරණයක් පවත්වා චෝදනාවන්ට ඔහු වරදකරු කර දඬුවම් ද පනවා ඇතැයි නීතිඥ සාලිය පීරිස් මහතා මතු කළ මූලික විරෝධතා ද පිළිගනිමින් විනිසුරුවරයා ඊයේ (15) සිය තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වූයේ මහාධිකරණය හමුවේ “හයිකෝප්” නඩුවේ කර ඇති චෝදනා පදනම් කරගෙන බව පෙන්වීම සඳහා දෙවැනි යුද්ධාධිකරණය හමුවේ තැබූ සාක්කි සටහන් ඇතුළත් සම්පූර්ණ නඩු ගොනුව මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එම නඩු ගොනුව පරිශීලනය කිරීමෙන් අනතුරුව විත්තියේ මූලික විරෝධතා පිළිගනිමින් ඊයේ (15) විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කර සිටියේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතා ඊයේ (15) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

”හයිකෝප්” නඩුව සම්බන්ධව මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර සිටි වෙලින්ටන් ට්‍රෙන්ටන් ඩී නොට් නමැත්තා අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය මගින් ඔහුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලදී.

2007 හා 2008 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවට අවි ආයුධ සැපයීම සම්බන්ධයෙන් ලියාපදිංචිව සිටි “බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්” නමැති ආයතනයේ ඒජන්තකරුවකු වූ “හයිකෝප්” පුද්ගලික සමාගම ලෙස පෙනී සිටිමින් යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ සැපයීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කරන ලදැයි පොදු දේපළ පනත යටතේ මේ නඩුව පවරා තිබුණි.

යුද හමුදාපතිවරයාව කටයුතු කරමින් සිටියදී මේ වැරදි කිරීමට තම බෑණාට ආධාර අනුබල දෙන ලදැයි සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

යුද හමුදාවට අවශ්‍ය විදුලි උත්පාදන යන්ත්‍ර (ජෙනරේටර්) 80 ක්, නඩත්තු රහිත බැටරි 50 ක්, දිසාමාන (කොම්පස්) පහක් හා රාත්‍රී බලන කණ්නාඩි (නයිට් විෂන්) 484 ක් ලබා ගැනීමට මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් වන දමිත් තොටවත්ත හා රියාස් බාරි යන මහත්වරු විසින් නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලදී.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක සමාගමේ උපදෙස් මත නීතිඥ සාලිය පීරිස්, රුක්ෂාන් නානායක්කාර යන මහත්වරු හා නිලන්ති පීරිස් මහත්මිය ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා