ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටත් සේවයට පැමිණ නැති සෙබළුන් 12 ක් ඔහු ළඟ සිටියා

හමුදාව හැරගිය සෙබළුන් ළඟ තබා ගැනීමට එරෙහි නඩුව

ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටත් සේවයට පැමිණ නැති සෙබළුන් 12 ක් ඔහු ළඟ සිටියා

බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ සාක්කි දෙමින් කියයි

සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටත් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි සෙබළුන් 12 දෙනා ෆොන්සේකා මහතා ළඟ සිටියා.

ඔවුන් ගෙන්වා ගැනීමට නැවතත් මා උත්සාහ කර දෙවන කණ්ඩායමද පොලිස් ආරක්ෂාව සහිතව යුද හමුදාපති නිල නිවස වෙත යැව්වා” යැයි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ හිටපු විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (15) පැවැසීය.

විශ්‍රාම යෑමෙන් අනතුරුව තම ආරක්ෂාව සඳහා අනුයුක්ත නොකළ සේවය හැර ගිය යුද හමුදා සෙබළුන් 10 කට රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබලදීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට විරුද්ධව ඇති නඩුවේ සාක්කි දෙමින් බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ මහතා එසේ පැවැසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ මේ නඩුව විභාගයට ගැණිනි.

2009 සැප්තැම්බර් 15 වැනිදාත් 2010 ජනවාරි මස පළමු වැනිදාත් අතර කාලයේ යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන්ට අනුයුක්ත නොකර සිටි යුද හමුදා සෙබළුන් තබාගෙන සිටින ලදැයි ද ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදැයිද එම සෙබළුන්ට එරෙහිව කටයුතු කිරීම යුද හමුදා පොලිසියේ සෙබළුන්ට ඉඩ ලබා නොදෙන ලදැයි පවසමින් චෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මෙම වරදවල් කිරීමට සරත් ෆොන්සේකා මහතාට ආධාර අනුබල දෙන ලදැයි පවසමින් ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ආනෝල්ඩ් ද සිල්වා හෙවත් ‘ෂා’ සිල්වාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකැර ඇත.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දමින් තොටවත්ත මහතාගේ සාක්කි මෙහෙයවීම මත ඊයේ (15) වැඩිදුරටත් සාක්කි දුන් බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ මහතා මෙසේද පැවැසීය.

නිවාඩු නොමැතිව නොපැමිණීම යුද හමුදා පනත යටතේ වරදකි. එය යුද හමුදා පනතේ 106 වන වගන්තියේ එන වරදකි. නිවාඩු නොමැතිව නොපැමිණි දින 21 ක් සම්පූර්ණ වූ පසු මෙම සෙබළුන් පැන ගිය අය ලෙස යුද හමුදා පනතේ 70 වන වගන්තිය යටතේ සිදුකෙරෙනවා. හමුදා කඳවුරකදී සෑම දිනකම උදේ සහ සවස නම් ලකුණු කරනවා. එලෙස නම් ලකුණු කිරීමේදී නොසිටින අය නොපැමිණි සෙබළුන් ලෙස සලකනවා.

2009 නොවැම්බර් 25 ලුතිනන් කර්නල් පේ‍්‍රමලාල් ඇතුළු කණ්ඩායමක් සරත් ෆොන්සේකා මහතා ළඟ සිටි අවසර නැති වාහන හා සෙබළුන් රැගෙන ඒමට යැව්වා. ඒ වනවිට මේ සෙබළුන් නිවාඩු නොමැතිව ගෙනවිත් සිටින සෙබළුන් ලෙස නම් කැර තිබුණේ නැහැ. ඔවුන් නොදන්වා සේවයට නොපැමිණි සෙබළුන් ලෙස සැලකුවේ 2009.11.27 දහවල් 12.00 පසුවයි. මොවුන් හමුදාවෙන් පැන ගිය සෙබළුන් ලෙස සැලකීම සිදුකළේ 2009.11.18 වැනිදා සිටයි.

යුද හමුදා සේවයට නොදන්වා නොපැමිණෙන සෙබළුන් සම්බන්ධයෙන් යුද හමුදාව අනුගමනය කරන ක්‍රියාමාර්ග හා මෙම සිද්ධියට අදාළව හමුදා සෙබළුන් 12 දෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් ඊට අදාළ ලේඛනද අධිකරණයට ඉදිරිපත් කරමින් බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ මහතා විසින් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලදී.

නොදන්වා සේවයට නොපැමිණෙන සෙබළුන් නැවත සේවයට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරීමේ ක්‍රියාවලියක් හමුදාවෙන් සිදුකරනවා. අපි ඔවුන්ගේ නිවෙස්වලට නිලධාරින් යවා හා දුරකථනයෙන් කථා කරලා නැවත රාජකාරියට එන්න අවවාද කරනවා. කෙසේ හෝ ඔවුන් සේවයේ රඳවා ගන්න උත්සාහ කරනවා. මෙම සෙබළුන් දොළොස් දෙනා සම්බන්ධවද අප එසේ කටයුතු කළා.

යුද හමුදා පොලිස් සේවා බළකායට අයත් මෙම සෙබළුන් ධාවනපැදිකරුවන් ලෙස සේවය කළ අයයි. මුලින් සෙබළුන් 18 ක් සරත් ෆොන්සේකා මහතා ළඟ සිටියා. ඔවුන් වෙත යතුරුපැදි 09 ක් ලබා දී තිබුණා. යතුරුපැදි 08 ක් නැවත භාරදීලා තිබුණා. අනිත් යතුරුපැදිය කලින් අලුත්වැඩියා සඳහා භාර දී තිබුණා. යතුරුපැදි 09 එයම 2009.11.29 වනවිට භාරදී තිබුණා.

යුද හමුදා සෙබළුන්ට තම නිල ඇඳුමෙන් සැරසිලා පෞද්ගලික යතුරුපැදියක් පදින්න බැහැ. නිවාඩු නොමැතිව නොපැමිණ සිටින බවට ප්‍රකාශ කරපු සෙබළෙකුට තම නිල ඇඳුමෙන් සැරසිලා නිවාඩු නොලබා නොපැමිණි සිටි කාලය තුළ යතුරුපැදි පාවිච්චි කරන්න බැහැ. නිත්‍ය සේවයේ ;යදී සිටියදී පරිහරණය කළ ගිනි අවිත් ඔවුන්ට පරිහරණය කරන්න බැහැ.

2009.11.25 දින වැඩිපුර ඇති වාහන හා සෙබළුන් රැගෙන එන්න ලුතිනන් කර්නල් පේ‍්‍රමලාල් යුද හමුදාපතිවරයාගේ නිල නිවසට යනවිට යුද හමුදාපතිවරයා විශ්‍රාමිකව සිටියේ. ඔහු එවිට තරු හතරේ ජනරාල්වරයෙක්. යුද හමුදාවේ ජනරාල්වරයෙක් හමුවන්න ගිය විට එම නිලයෙන් ආමන්ත්‍රණය කරන්න අයිතියක් තිබෙනවා. විශ්‍රාම ගිය නිලධාරියකුටත් එසේම ගෞරව කරනවා. එය චාරිත්‍රානුකූලව නිසි ගෞරවය දක්වනවා. එය යුද හමුදාවේ චාරිත්‍රයක්.

2009.11.25 ලුතිනන් කර්නල් පේ‍්‍රමලාල් කණ්ඩායමක් සමඟ යැව්වේ බලහත්කාරයෙන් සෙබළුන් හා වාහන ගෙන්වා ගන්න නොවෙයි. ඉල්ලීමක් කැර ඒවා භාර ගන්නයි මගේ බලාපොරොත්තුව තිබුණේ.

මා එවකට යුද හමුදාවේ සිටි විනයාරක්ෂාධිපති. මට නීත්‍යානුකූල බලයක් තිබෙනවා අනවසරයෙන් තබාගෙන සිටින යුද හමුදා වාහන ගන්න. මේ අවස්ථාවේ නිසි ගෞරවයක් තිබුණා. ඒ නිසා ඉල්ලීමක් කැර ඒවා ලබාගන්නයි මගේ බලාපොරොත්තුව තිබුණෙ.

සරත් ෆොන්සේකා මහතා දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ ප්‍රශ්නයට අදාළ වාහන හා සෙබළුන් නීත්‍යානුකූල බලයක් මත ඔහුට ලබා දී තිබෙන බව ඔහු කිව්වේ නැහැ. ඔහු ලබාගන්න ඉල්ලීමක් කළෙත් නැහැ. එම දුරකථන සාකච්ඡාවෙන් පසු මා ලුතිනන් කර්නල් ප්‍රේමලාල්ට එම ස්ථානයෙන් ඉවත් වන්න කිව්වේ තර්ජනයක් කැර තිබූ නිසා එම තර්ජනය ක්‍රියාත්මක වෙයි කියල හිතපු නිසයි.

මා විනයාරක්‍ෂාධිපති ධුරය දරන කාලයේදී සෙබළුන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින විට සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පොදු අපේක්‍ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඒ වන විටත් එම සෙබළුන් 12 දෙනා සරත් ෆොන්සේකා මහතා ළඟ සිටියා. මා ඔවුන් ගෙන්වා ගැනීමට නැවත උත්සාහ කළා. 2009/12/11 දින තවත් කණ්ඩායමක් යැව්වා. හමුදාපති නිල නිවස වෙත දෙවන කණ්ඩායම යැව්වේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිවයි. මේ කණ්ඩායම යන අවස්ථාවේ හමුදාපති නිල නිවස්නය වහල තිබුණා. ආරක්‍ෂාවට සිටි අය නිල නිවසේ කවුරුත් නැති බව කීවා.

විත්තියේ නීතිඥ සාලිය පීරිස් මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බ්‍රිගේඩියර් අශෝක් වීරසිංහ මහතා මෙසේ ද පැවසීය.

මා 1981 යුද හමුදාවට බැඳුණේ. ඒ කාලයේ තමයි උතුරුකරේ ත්‍රස්තවාදී ප්‍රශ්නය ආරම්භ වුණේ. මා උතුරු නැඟෙනහිර සටන්වල යෙදුණේ නැහැ. මා වසර 31 ක් තිස්සේ යුද හමුදාව ගැන විස්තර මා දන්නවා. මා සරත් ෆොන්සේකා මහතාව පෞද්ගලිකවම හඳුනනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය අවසන් ලෙස පරාද වූ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා තමයි යුද හමුදාපතිව සිටියේ. යුද්ධය අවසන් වූ දින තමයි සරත් ෆොන්සේකා මහතාට ජෙනරාල් තත්ත්වයට උසස් වීමක් ලැබුණේ. ඔහු හමුදා සේවයට විශාල සේවයක් ඉටු කළ බව මා දන්නවා. ඔහුට පෞද්ගලිකව එල්. ටී. ටී. ඊ. තර්ජන තිබුණ බව දන්නවා. ඔහුට විශාල ආරක්‍ෂාවක් සපයා තිබුණා.

එල්. ටී. ටී. ඊ ත්‍රස්තයින් 2006 අප්‍රේල් මස මරාගෙන මැරෙන ප්‍රහාරයක් කොටි කාන්තාවක් ඒ ප්‍රහාරය එල්ල කළා. සරත් ෆොන්සේකා මහතා එම ප්‍රහාරයෙන් මරණාසන්න තුවාල ලැබුවා.

නීතිඥ සාලිය පීරිස් මහතා - පළමු විත්තිකරුට එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් විශාල තර්ජන තිබූ බව ඔබ පිළිගන්නවාද?

සාක්කිකරු - ඔව්.

පළමු විත්තිකරු විශ්‍රාම යන්න පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පන්සියයකට අධික පිරිසක් ආරක්‍ෂාවට යොදා සිටි බව මා පිළිගන්නවා.

යතුරුපැදිකරුවන්ගේ ඉදිරි ගමන් කරන මාර්ගය ක්ලියර් කරනවා. ඊට අමතරව වාහනය දෙපැත්තෙන් ආරක්‍ෂාවට යනවා. පැත්තකින් එන ප්‍රහාර වළක්වන්න යතුරුපැදි ධාවනකරුවන් ඉතා අවශ්‍යයි. මා පිළිගන්නවා යතුරුපැදිකරුවන් යොදන්නේ ආරක්‍ෂක විධිවිධානවලට අත්‍යාවශ්‍ය අංගයක් ලෙසට බව. පළමු විත්තිකරුට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ වූ ප්‍රහාරය ගැන මා දන්නවා. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් වුණා එවකට සිටි යුද හමුදාපතිවරයා.

2009 මැයි මාසයෙන් පසුවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ තර්ජන මුළුමනින්ම ඉවත් නොවූ බවට කියන්න මට දැනීමක් නැහැ.

දැන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතායි. ඔහුට ආරක්‍ෂාව යුද හමුදාවෙන් සපයනවා. වර්තමාන හමුදාපතිවරයාට දී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් මා දන්නෙ නැහැ. මටත් ආරක්‍ෂාව සපයා තිබෙනවා. පළමු විත්තිකරු යුද හමුදාපතිව හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාව සිටින විටත් ඔහුගේ ආරක්‍ෂාවට තර්ජනයක් තිබූ බව මා දන්නවා.

විශ්‍රාම ගිය ගමන්ම ආරක්‍ෂාවට තිබූ තර්ජන එකපාරම නොනවතින බව මා පිළිගන්නවා. තවදුරටත් යතුරුපැදිකරුවන් සිටීම ඔහුගේ ආරක්‍ෂාවට හේතු වන බව මා පිළිගන්නේ නැහැ. මේ යතුරුපැදිකරුවන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් මට කළ යුතු දෙයක් තිබුණේ නැහැ. මා ක්‍රියා කෙළේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මතයි.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මතයි මේ යතුරුපැදිකරුවන් ඉවත් කිරීමට මා කටයුතු කෙළේය. මේ ගැන ඔහුට නියෝග කෙළේ කවුද කියා මා දන්නෙ නැහැ. මට නියෝගය ලැබුණේ දුරකථනයෙන්. මේ සම්බන්ධව ලිපි ගොනුවක් හෝ කිසිදු ලේඛනයක් පවත්වන්න ගියේ නැහැ.

වැඩිදුරටත් විභාගය අද (16) ට කල් තැබුණි.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර යුද හමුදා නීති අංශයේ මේජර් නුවන් ලියනගේ මහතා පැමිණිල්ලට සහාය දැක්වීය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සාලිය පීරිස්, නීතිඥ රුක්ෂාන් නානායක්කාර යන මහත්වරුන් හා නීතිඥ නිලන්ති පීරිස් මහත්මිය පෙනී සිටියාය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා සමඟ නීතිඥ සඳමල් රාජපක්‍ෂ, කැලුම් කුමාරසිංහ හා මධුභාෂණ ආරියදාස යන මහත්වරු පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා