චැනල් 4 චිත්‍රපටය පදනම් විරහිත එකක්

චැනල් 4 චිත්‍රපටය පදනම් විරහිත එකක්

චැනල් 4 හරහා තවත් ව්‍යාජ චිත්‍රපටයක් නිපදවීම පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව පැවැති මානුෂවාදී ක්‍රියාන්විතයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් පදනම් කර ගනිමින් චැනල් 4 නාළිකාව නිකුත් කර ඇති නවතම වීඩියෝ පටය කෙරෙහි ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එම වීඩියෝ පටය පදනම් විරහිත පිළිගත නොහැක්කක් ලෙස අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන්නේය.

ඔවුන්ගේ පළමු වැනි නිග්‍රහාත්මක වීඩියෝ පටය නිකුත් වීමෙන් පසු එය තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සකස් කරන ලද්දක් බව කිසිඳු සැකයකින් තොරව ම ශ්‍රී ලංකා රජය නිශ්චිතවම තහවුරු කිරීමෙන් පසු චැනල් 4 නාළිකාවට සහාය දැක්වීමට සූදානමින් සිටි මාධ්‍ය කණ්ඩායම් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීය.

දේශීය මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2010-2011 දී සකස් කළ වාර්තා චිත්‍රපටයේ කොටසකට අයත් සැබෑ රූපාවලින් ශ්‍රී ලංකා රජය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසු චැනල් 4 නාළිකාවට ඔවුන්ගේ පළමු වීඩියෝ පටයේ සත්‍යතාව තහවුරු කිරීමට නොහැකි විය.

දැන් ඒ හා සමාන දෙවැනි වීඩියෝ පටයක් නිකුත් කරමින් ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීම චැනල් 4 නාළිකාවේ අරමුණ වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය මේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ පසුගිය දශක තුන තිස්සේ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකර ඇත්තේ එල්.ටී.ටී.ඊ ය බව පිළිගත හැකි සාක්කි මගින් තහවුරු කිරීමේ හැකියාව ඇති බව සඳහන් කරමිනි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ නිල වශයෙන් ඔවුන් සතු තොරතුරු ඉදිරිපත් කොට මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව අන්තර්ජාතික වශයෙන් පියවර ගැනීමට කටයුතු කිරීම සඳහා චැනල් 4 නාළිකාවට අවස්ථාව තිබිණ. එහෙත් ඒ වෙනුවට එම වීඩියෝ පටය විකාශනය කිරීමට සූදානම් වන්නේ වගකිව යුතු ආයතනයක් හමුවේ එහි සත්‍යතාව තහවුරු කිරීමට ඔවුනට ඇති නොහැකියාව පැහැදිලිවම ප්‍රදර්ශනය කරමිනි.

මේ වීඩියෝ පටයේ අරමුණ වන්නේ වරින් වර දහස් ගණන් ජීවිත අහිමිව ගියේ තහවුරු කළ හැකි සාක්කි වලින් තොරව බව අන්තර්ජාතික ප්‍රජාවට හඟවමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා