අපේ ගැටලු අපම විසඳාගන්නම් අත පෙවීම් එපා!

අපේ ගැටලු අපම විසඳාගන්නම් අත පෙවීම් එපා!

කොළඹට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස් එක හඬින් පවසති

“මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව එකමුතුයි. සාමයට ලැදියි. අපේ ගැටලු විසඳාගැනීමට ඉඩ දෙන්න අත පෙවීම් එපා” කොළඹ නගරයට ඊයේ (15) රැස්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක හඬින් පැවසූහ.

දේශය සුරැකීමේ ජාතික සංවිධානයේ මෙහෙයවීමෙන් ඊයේ කොළඹ 07, නිදහස් චතුරශ්‍රයට රොද බැඳගත් දහස් සංඛ්‍යාත මේ මහා ජනතා බලවේගය ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉදිරිපත් කිරීමට ඇති යෝජනාවලිය හකුළා ගන්නැයි ඉල්ලා සිටියහ.

නිදහස් චතුරශ්‍රයට එක්වූ මෙම පොදු ජනතාව අණබෙර කරුවන් පෙරටු කරගෙන ජාතික කොඩි ඔසවාගෙන තම තමන් නියෝජනය කරන සංගම්වල බැනර යටතේ ඉතා සාමකාමී අයුරින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය නොර්වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජර්මනිය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල තානාපති කාර්යාල වෙත ගොස් සංදේශ භාර දුන්නහ.

ඉතා වාසනාවන්ත දේශයක් වූ අප රට තිස්වසරක් පුරා පැවැති කාලකණ්ණි යුද්ධය නිසා පසුගාමී තත්ත්වයට පත්විය. ලෝකයේ පුංචි රටක් වුවත් අපි කිසිදු අයකුගේ විශේෂ උදව් උපකාර නොමැතිව ඒ දැවැන්ත යුද ජයග්‍රහණය ලබාගත්තෙමු.

අවිහිංසක ජනතාවක් වූ ශ්‍රී ලාංකිකයන් තම ගැටලු විසඳා ගැනීමට සමත් බැවින් ඊට බාධා පමුණුවන්න එපා යැයි අහිංසක ඉල්ලීමක් මේ සංදේශය මගින් ඒ රටවලින් ඉල්ලා ඇති බව දේශය සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.

බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, ඉස්ලාමි යන ආගම්වලට අයත් සර්ව ආගමික නායකයන් පසුපසින් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීති ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, වෘත්තීය සමති නියෝජිතයන් ඇතුළු බහුජන සංවිධාන රැසක් මෙම සාමකාමී පා ගමනට එක්ව සිටියහ. මෙහිදී ආගමික නායකයන් හා විශේෂ වෘත්තිකයන් පස් දෙනා බැගින් තානාපති කාර්යාල වෙත ගොස් සංදේශ බාර දීම සිදුවිය.

මෙහිදී මාධ්‍යවෙත අදහස් දැක්වූ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ නිදහස්, නිවහල් බව අගයන ඕනෑම රටක් මේ යෝජනාවලිය අනුමත නොකරන වා යැයි පැවසූහ.

මවුබිම සුරැකීම සංවිධානයේ සභාපති අග්‍රහැරේ කස්සප හිමියෝ මේ රටේ සියලු ජනතාවගේ ප්‍රාර්ථනාව වූ සාමය උදාකර ගත් අවස්ථාවක ඒ ගමන ඉදිරියට යා නොදී බාධා ඇතිකිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් අනුමත නොකරන දෙයක් බව පෙන්වා දුන්හ.

යුද්ධය පැවැති සමයේ ඊට එරෙහිව අපේ කකුලෙන් අදිනු ලැබූ බටහිර රටවල් ඔවුන්ගේ උපදෙස්වලට සවන් නොදීම නිසා දැන් මෙවැනි හිරිහැර කරන බව පැවසූහ. ඊට මුහුණ දීමට කිසිදු භේදයකින් තොරව අද ජනතාව මේ පා ගමනට එක්ව සිටින බව ප්‍රකාශ කළහ.

වටිනාපහ සෝමානන්ද හිමියෝ - එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සාවද්‍ය තොරතුරු ලබාගෙන අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා සම්මේලනයට ගෙන එන මේ යෝජනා නවතා දැමීමට ශ්‍රී ලංකාවේ සැබෑ තතු පිළිබඳ ඒ රටවල් දැනුවත් කිරීමට මේ සංදේශය තානාපති කාර්යාල වෙත බාර දෙන බව දන්වා සිටියහ.

පාණදුරේ ස්කන්ධ කුමාර් කෝවිල බාර ප්‍රධානි කේ.එල්.එම්.මොහාන් ෂර්මා ස්වාමී මේ රටට සාමය උදාවෙලා ඇත. දැන් අපට අවශ්‍ය සංවර්ධනයයි. ඊට බාධා නොකරන්නැයි අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් සංදේශ බාරදී ඉල්ලනවා.

සාමය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා තිස් වසරක් පුරා යුද්ධය පැවැති අවස්ථාවේ ඉන් අතුරු ප්‍රයෝජන ලැබීමට බැලූ මේ ජාත්‍යන්තර බලවේග ඔවුන්ගේ ඒ පැතුම් සුන් වූ නිසා මෙවැනි හිරිහැර කිරීමට පෙළඹී තිබෙන බව අපට පැහැදිලියි.

එබැවින් මීට මුහුණදීම සඳහා සියලු දෙනා එකාමෙන් එකමුතුවිය මොහොතකි මේ.

අත්තනගල්ලේ අල්හාජ් කලීල් මව්ලවිතුමා. කෝටි දෙකක්වූ ජනතාව වෙනුවෙන් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් රණවිරුවෝත් මේ යුද්ධය කළේ ඒ නිසා. රටේ සියලු ජනතාව මීට මුහුණදීමට එකමුතු විය යුතුයි. අෂේක් අහමඩ් බින් මොහොමඩ් මව්ලවි තුමාගේ ආශිර්වාදය මත සෙයියද් හසන් මව්ලවි හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා මෙහෙය වූ මුස්ලිම් ජනතාවගේ පා ගමනක්ද කොළඹ බම්බලපිටියේ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල සිට අමෙරිකානු තානාපති කාර්යාලය දක්වා සැපැත්විය.

දස දහසකට ආසන්න ජනතාවක් ඊට සහභාගි වූ අතර එහිදී අදහස් දැක්වූ සෙයියද් හසන් මවුලවි තුමා ලෝකයේ මුස්ලිම් රටවල් අපේ රටට සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින මේ මොහොතේ එය වැළැක්වීමට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ක්‍රියාකරන බැවින් ඊට විරෝධය පෑම සඳහා මේ පා ගමන පවත්වා ඒ ගැන කරුණු දැක්වෙන සංදේශයක් අමෙරිකානු තානාපති කාර්යාලයට බාර දෙන බව පැවසූහ.

දේශය සුරැකීමේ ජාතික සංවිධානය පැවැත්වූ පා ගමන ලිබර්ටි වට රවුමේදී පැවිදි හිමිවරුන්ගේ පිරිත් සජ්ඣායනා මැද අවසන් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා