ලිඛිතව දැනුම් දී නැහැ: විහාරය භාරදිය නොහැකියි

ලිඛිතව දැනුම් දී නැහැ: විහාරය භාරදිය නොහැකියි

හිටපු මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ නව විහාරාධිපති හිමිට පවසති

මහනුවර මල්වතු මහාවිහාර සංඝ සභාව විසින් මාර්තු නමවනදා (9) සිට ක්‍රියාත්මක වන පරිදි මිහින්තලා රජමහා විහාරස්ථානයේ අභිනව විහාරාධිපති වශයෙන් පත් කර ඇති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඊයේ (15) එම ධූරයේ වැඩකටයුතු අරඹමින් මිහින්තලේ උඩමළුවෙහි පිහිටි රජමහා විහාරස්ථානය වෙත වැඩම කළද හිටපු මිහින්තලා විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන් තමන් වහන්සේට ඒ පිළිබඳ ලිඛිත දැනුම්දීමක්කර නොමැති බැවින් විහාරස්ථානය භාරදිය නොහැකි බව පැවසුහ.

මිහින්තලා රජමහා විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ඇතුළු උත්තරීතර සංඝ සභාව ගෙන ඇති තීරණයට විරුද්ධ නොවන බවත් ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දෙන තුරු මිහින්තලේ රජමහා විහාරාධිපති භාරකාර වශයෙන් තමන් වහන්සේ කටයුතු කරන බවද මෙහිදී නාමල්වැවේ රතනසාර හිමියන් පැවසුහ.

මේ අතර අභිනව විහාරාධිපති හිමියන් ලෙස පත් කර ඇති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මෙහිදී පවසා සිටියේ තමන් වහන්සේගේ අභිනව පත්කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා විසින් ගුරුදේව නාමල්වැවේ රතනසාර හිමියන් වෙත ලිඛිතව හෝ වාචිකව දන්වා නොමැති බව පවසමින් උන් වහන්සේ තවදුරටත් එම විහාරස්ථානයේ වැඩවසන බවත් නව පත්වීම පිළිබඳ තමන් වහන්සේ වෙත ලැබුණු ලිපියෙහි පිටපත පෙන්වා සිටියද එයින් උන් වහන්සේ සෑහීමකට පත් නොවු බවත් ධම්මරතන හිමියෝ පැවසුහ.

කෙසේ වුවද ඊයේ (15) ඇතිවූ තත්වය පිළිබඳ මල්වතු මහ නාහිමියන් වෙත දන්වා සිටි බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් මේ පිළිබඳව රතනසාර හිමියන් වෙත දැනුම්දීමෙන් අනතුරුව මෙම ගැටලුකාරී තත්වය නිමාවීමෙන් පසු නව ධුරය බාරගෙන මිහින්තලා විහාරස්ථානයටත් ප්‍රදේශයටත් උපරිම සේවයක් සිදු කරන බවත් ධම්මරතන හිමියන් පැවසූහ.

අභිනව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් ලෙස වැඩකටයුතු අරඹමින් වලවාහැංගුණවැවේ රතනසාර හිමියන් ඊයේ (15) ආගමික වතාවක් සිදු කර උන් වහන්සේ වැඩවාසය කරන සාංචි විහාරයේ සිට මිහින්තලේ උඩමළුව වෙත පෙරහැරින් වැඩම කළේ මහා සංඝරත්නය සහ සැදැහැවතුන් සමගිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා