උගත් පාඩම් කොමිසමේ වාර්තාව ජාත්‍යන්තරය පිළිගැනීම රජය ලැබූ ජයග්‍රහණයක්

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ජාත්‍යන්තරය පිළිගැනීම රජය ලැබූ ජයග්‍රහණයක්

ජාත්‍යන්තරය දරුස්මාන් වාර්තාව අභිබවා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පිළිගැනීම රජය ලැබූ ජයග්‍රහණයක් බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම සැකසූ වාර්තාවට ඇමැති මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා එහි නිර්දේශ මේ වන විටත් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බව සඳහන් කළේය.

වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇතැමුන්ට විවිධ මත තිබෙන්නට පුළුවන් වුවත් අපේ ප්‍රශ්න ක්‍රමානුකූලව විසඳාගෙන රට ඉදිරියට යමින් පවතින බව ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසමට එරෙහිවී කටයුතු කරන බවට විපක්ෂය නඟන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා එම ආයතන සමඟ රජය ඉතා සුහදව කටයුතු කරන නමුත් රටේ අනන්‍යතාව රැකෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

රට ඉලක්ක කරගෙන කිසිවක් කරන්නට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ඇමැතිවරයා මේ රටේ සිදුවූ දේ සම්බන්ධයෙන් විමර්ශන නිරීක්ෂණ පැවැත් වීමට කණ්ඩායම් පැමිණීම අනුමත නොකරන බව ප්‍රකාශ කළේය.

චැනල් 4 නාලිකාවේ වීඩියේ පටය පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. පළමු වීඩියෝ පටය නිකුත් කළ අවස්ථාවේදීම එම නාලිකාවේ විශ්වසනීයත්වය බිඳ දැමීමට රජය කටයුතු කළ බවත් ඇමැතිවරයා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා