ඝානාවේ ජනාධිපති ජෝන් අට්ටා මිල්ස් මිය යයි

ඝානාවේ ජනාධිපති ජෝන් අට්ටා මිල්ස් මිය යයි

උප ජනාධිපති ජෝන් ද්‍රාමනි ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

බටහිර අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රීය බළකොටුවක් ලෙස සැලකෙන ඝානාවේ ජනාධිපති ජෝන් අට්ටා මිල්ස් පෙරේදා හදිසියේම මිය ගොස් තිබේ. තවත් මාස කීපයක දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී යළිත් තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවූ ඔහු අසනීප වීමෙන් පැය කීපයකට පසු මෙසේ මිය ගොස් ඇත.

68 හැවිරිදි මිල්ස් මෑතක දී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එක්සත් ජනපදයට ගිය නමුත් ඔහුගේ රෝග තත්ත්වය කුමක්දැයි අනාවරණය වී නැත.

මිල්ස්ගේ හදිසි අභාවයෙන් පසු පාර්ලිමේන්තුව වහා රැස් කෙරුණු අතර එහිදි ඔහුගේ ඉතිරි ධුර කාලයේ සේවය කරමින් රටේ ස්ථාවරත්වය පවත්වා‍ගනු පිණිස උප ජනාධිපති ජෝන් ද්‍රාමනි මහමා ජනාධිපති ධුරයෙහි දිව්රුම් දුන්නේ ව්‍යවස්ථාවට අනුකූලවය.

සන්නිවේදන කටයුතු බාර ඇමැති ලෙසද සේවය කළ 53 හැවිරිදි‍ ජෝන් ද්‍රාමනි, දිවුරුම් දෙමින් පැවසුවේ සියල්ල මනා අයුරින් සිදුවන බව ඝානනුවන් හමුවේ සහතික වන අතර සිරිත්පරිදි සාමය සමගිය හා ස්ථාවරත්වය පවත්වාගෙන යන බවය. ඒසමගම මිල්ස් ගේ අභාවය වෙනුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ ඔහු එම කාලයේ දී ජාතික ධජය අඩකුඹ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඝානා උපජනාධිපති ජෝන් ද්‍රාමනි මහමා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු අදාළ ලේඛන අස්සන් කරන අයුරු.

ජනාධිපති කාර්යාලයෙන් පැවසුණේ මිල්ස්, අක්‍රා අගනගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දි මිය ගිය බවය. ඔහුගේ රෝගී ස්වාභාවය නිශ්චිතව ප්‍රකාශ වී නැතත් මෑතක දී ඔහු කතාකිරීමේ අපහසුතාවෙන් පෙළී ඇති අතර ඔහුගේ බර අඩුවී තිබුණු බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. තවද ඔහු උගුරු පිළිකාවකින් පෙළෙන බව තහවුරු නොකළ මාධ්‍ය වාර්තාවල දැක්වි තිබිණ.

ඝානා ජනාධිපති වරණය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අතර මිල්ස් ඒසඳහා යළි ඉදිරිපත්වන බව ප්‍රකාශ කෙරුනේ ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රිය කොංග්‍රස් පක්ෂය සිදුකළ ඡන්ද විමසීමකින් පසුය.

ඝානා ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයකුට සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාගැන්මට තරගයකට යොමුවන්නට සිදුවු අවස්ථාව එය බව පැවසේ . කෙසේවතෙත් පසුගිය කාලයේ ලෝක ආර්ථික අර්බුදය හමුවේ පවා සැළකිය යුතු ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින් ඝානනුවන්ගේ ජිවන තත්ත්වය නඟාලීමට ඔහු සමත්ව තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා