තිලිණි-හේෂාන් මූලික වටයෙන් පසු බසිති

තිලිණි-හේෂාන් මූලික වටයෙන් පසු බසිති

ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම තරග බිමට පිවිසි බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිණි ජයසිංහ හා පිහිනුම් ක්‍රීඩක හේෂාන් උණම්බූව ඊයේ මූලික වටයේ තරගවලදී පසු බැසීමට ලක්වූහ.

තිලිණි ජයසිංහ, තායිලන්තයේ ඉන්ටැනෝන් රත්චැකොක් අතර තරගයෙන් ලකුණු 21-13 හා21-5ක් ලෙස වට 2-0කින් පරාජයවූ අතර හේෂාන් උණම්බූව මීටර් 100 පසුපස ආර තරගයට සහභාගීවූ ක්‍රීඩකයන් 43ක් අතරින් 42 වැනියා බවට පත් විය.

හේෂාන් වාර්තා කළ කාලය වූයේ තත්පර 57.94කි ඔහුට පසුපසින් සිටියේ සැමීබියාවේ සේන් ජෝර්ඩාන් (තත් 58.77) පමණි.මේ මූලික තරග වටයේදී සමස්ත ක්‍රීඩකයන් අතරින් පළමු ස්ථානයට පත්වූ ඇමරිකාවේ මැතිව් ග්‍රේවර්ස් තත්පර 52.92ක කාලයක් වාර්තා ක‍ලේය.

තිලිණිට මූලික වටයේ ඇති අවසන් අවස්ථාව අද පෘතුගාල ක්‍රීඩිකා සැන්ටොස්ටෙල්මා සමග තරගයයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.15ට පැවැත්වේ.මෙයට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න හා මීටර් 10 වායු රයිෆල් තැබීමේ ඉසව්වට සහභාගීවන මංගල සමරකෝන් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ඔලිම්පික් තරග බිමට පිවිසෙති.

ඊයේ වෙම්බ්ලි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තිලිණි හා රත්චැකොක් අතර තරගයේ පළමු වටයට වඩා දෙවැනි වටයේදී තිලිණි දරුණු පසුබැසීමකට ලක් වූවාය.ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 118 වැනි ස්ථානයේ පසුවන තිළිණි 10 වැනි ස්ථානයේ සිටින 17 හැවිරිදි තායිලන්ත ක්‍රීඩිකාව ඉදිරියේ වසර දෙකක් තුල ලැබූ තෙවැනි පරාජය මෙය වේ.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිලිණි පැවැසූවේ ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් ඉදිරියේ තරග කරමින් ලද අත්දැකීම අද පැවැත්වෙන දෙවැනි තරගයේදී උපයෝගී කරගන්නා බවයි.අද පෘතුගාල ක්‍රීඩිකාවට එරෙහිව හොදින් ක්‍රීඩා කිරීම තම අරමුන බව තිළිණි පැවැසුවාය. “පළමු වටයේදී මා හොද තරගයක් දුන්නා. දෙවැනි වටයේදී මාගේ අන්තයේ සුළං හැමීම නිසා ලකුණු අතරට එන්න අපහසු වුනා. තායිලන්ත ක්‍රීඩිකාව මුල් වටයේ පසු බැස්සේත් සුළං හැමීමේ අවාසිය නිසයි. කොහොම වුණත් ඇය දක්ෂ ලෙස ක්‍රීඩා කළා“ තිලිණි පැවැසුවාය.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ හේෂාන් පැවැසූවේ උරහිසේ තිබුණු ආබාධය මේ තරගයේ පසුබැසීමට බලපෑ බවයි. “මට ඕනෑ වුනේ ශ්‍රී ලංකා වාර්තාවක් බිද හෙලන්නයි. ඒක අපහසු වුණේ ආබාධය නිසයි.මේ තරගයෙන් පසුව මා නැවැත ඇමරිකාව බලා පිටත්ව ගොස් ඉගෙනීමේ කටයුතු හා පිහිනුම් ක්‍රීඩාව දෙකම කිරීමට බලාපොරොත්තු වෙනවා. මීළඟ ඔලිම්පික් උලෙළට දැන් සිටම සූදානම් වීම කළ යුතුයි“ හේෂාන් පැවැසීය.

කෙසේ වුවද පිහිනුම් ක්‍රීඩක 20 හැවිරිදි හේෂාන් උණම්බූව ලොව ප්‍රබල ක්‍රීඩකයන් ඉදිරියේ පරාජයට පත්වුවද ඉතා හොඳින් තරගයට අවතීර්ණවූ බව කළමනාකරු සමන්ත වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය දා ලෝක පිහිනුම් ශූරතාවලියේදී වාර්තා කළ කාලයට වඩා ඔලිම්පික් තරග කාලය යහපත් බව හෙතෙම පැවැසීය.

n පෙල්ප්ස්ට

මුල් තරගයේ

රන් පදක්කම

අහිමි වෙයි

පසුගිය බීජිං ඔලිම්පික් උලෙළේදී රන් පදක්කම් අටක් දිනා ගෙන වාර්තාවක් තැබූ ඇමරිකාවේ මයිකල් පෙල්ප්ස් සහභාගීවූ මුල්ම තරගයෙන් සිවුවැනි ස්ථානයට පත්විය. ඔහු සමගම පුහුණුවන ඇමරිකාවේ ලෝච් රේයන් (වි.4.05.18.) මීටර් 400 මෙඩ්ලී ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී පෙල්ප්ස් පසු බැස්සේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිද්දෙනි. ඔහු ඊයේ වාර්තා කළ කාලය විනාඩි 4:04:28 කි.

n ආසියාව ඉදිරියෙන්

ලන්ඩන් ඔලිම්පික් උලෙළේ පළමු පදක්කම දිනා ගත් චීනය පුවත්පත මුද්‍රනයට යද්දී රන් පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගෙන ඉදිරියෙන් සිටියේය.ඉතාලිය රන් 2ක් හා ඇමරිකාව රන් පදක්කමක් දිනා ඇත. සත්කාරක එංගලන්තය මේ වනතුරු රන් පදක්කමක් දිනා නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා