තුන් වැනි තරගයෙන් ජයගත් ඉන්දියාව එක්දින තරගාවලියේ පෙරමුණට

තුන් වැනි තරගයෙන් ජයගත් ඉන්දියාව එක්දින තරගාවලියේ පෙරමුණට

ඉන්දියාවේ ගෞතම් ගම්භීර්ගේ ශතකයත්, සුරේෂ් රයිනාගේ වේගවත් පිති ප්‍රහාරයත් හේතුවෙන් ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති දිවා රාත්‍රි තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 5ක පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 287ක ඉලක්කය හඹාගිය ඉන්දියාව ඉනිම අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය අත්කර ගත්තේය. ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්විය.‍

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද ශ්‍රී ලංකා පි‍ලේ ඉදිරිපෙළේ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 20ක් ඇතුලත දැවී ගියහ. අනතුරුව කුමාර් සංගක්කාර සහ නායක මහේල ජයවර්ධන එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 141 දක්වා ඉහළ නැංවූහ. මහේල පන්දු 79කට මුහුණදී හතරේ පහර 5ක් සමග ලකුණු 65ක් ලබා ගත්තේය. ඉනිමේ 15 වැනි ඕවරය යැවූ අශෝක් දින්දාගේ බවුන්සර් පන්දුවක් වැදීමෙන් සංගක්කාරගේ දකුණතේ ඇඟිල්ලක අස්ථි බිඳීමක් ඇතිවූ අතර ඒ ආබාධය සහිතව පිතිහරඹයේ නිරතවු සංගක්කාර ලකුණු 73ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත් වූ අතර ඔහු පන්දු 95කට මුහුණ දුන්නේය.

දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 121ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගිණි. අනතුරුව උපනායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ජීවන් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5කට ලකුණු 286දක්වා රැගෙන ගියහ.

මැතිව්ස් පන්දු 57කදී හ‍ත‍රේ පහර 5ක් සහ ‍හයේ පහරක් සමග නොදැවී ලකුණු 71ක් වාර්තා කළ අතර මෙන්ඩිස් පන්දු 40කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 45ක් රැස් කළේය. දෙදෙනා අතර 6වැනි කඩුල්ලට නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 104ක් විය.

ඉන්දියා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබියදී විරේන්ද්‍ර ෂෙවාග්ගේ කඩුල්ල දවාගැනීම තිසර පෙරේරා සමත්වූව ද, ගෞතම් ගම්භීර් සමග විරාත් කෝලි දෙවැනි කඩුල්ලට ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්විය. ලකුණු 31ක් ලබාසිටි දෝනිගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රෝහිත් ෂර්මා ලකුණු ලබාගැනීමට පෙර දවාලීමට ලසිත් මාලිංග සමත්විය. සාර්ථක පිතිහරඹයක නිරතව සිටි ගම්භීර් දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවද සුරේෂ් රයිනා සහ ඉර්ෆාන් පතාන් එක්ව ඉන්දියා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියහ. පන්දු 45කදී හ‍තරේ පහර 6ක් සහ හයේ පහරක් සමග ‍නොදැවී ලකුණු 65ක් රැස් කළ රයිනා තරග‍යේ වීරයා ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකාව- 286/5 (ඕවර 50) කුමාර් සංගක්කාර 73, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී 71, මහේල ජයවර්ධන 65, ජීවන් මෙන්ඩිස් නොදැවී 45 (සහීර් ඛාන් 39/2)

ඉන්දියාව-288/5 (ඕවර 49.4) ගෞතම් ගම්භීර් 102, සුරේෂ් රයිනා නොදැවී 65, විරාත් කෝලි 38, ඉර්ෆාන් පතාන් නොදැවී 34, මහේන්ද්‍ර සිං දෝනි 31 (ලසිත් මාලිංග 60/2)

දෙපිල අතර සිව්වැනි එක්දින තරගය (31) හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා