අපරාජිත මහනුවර පිල තරගාවලියේ පෙරමුණ ගනී

අපරාජිත මහනුවර පිල තරගාවලියේ පෙරමුණ ගනී

මෙවර ඩයලොග් අන්තර් සමාජ පළමු කො‍ටසේ රගර් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියේ 8වැනි වටයේ දී ප්‍රබල හැව්ලොක්ස් පිල ලකුණු 20-10කින් පරදවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. නිත්තවෙල පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 10-7ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර පිල සිය සමස්ත ලකුණු සංඛ්‍යාවට ‍ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් ඇතුලත් කරගත් අතර හැව්ලොක්ස් පිල ගෝලයක් සහ දඬුවම් පහරක් එල්ල කළේය. ‍‍මේ අනුව ප්‍රසාද ලකුණු 39ක් අත්කරගනිමින් මහනුවර පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 36 බැගින් ලැබූ හැව්ලොක්ස් පිල දෙවැනි ස්ථානයෙත්, නාවික හමුදා පිල තුන්වැනි ස්ථානයෙත් පසුවෙති.

යුද හමුදාවට ජය

මේ අතර පොලිස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 33-27ක ජයක් අත් කරගැනීමට යුද හමුදාව සමත්විය.පොලිස් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට යුද හමුදාව ලකුණු 10-7ක් ලෙස ඉදිරියෙන් සිටියේය. යුද හමුදාව ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල්4ක් සහ උත්සාහක දිනුමක් ඇතුලත් වූ අතර ගෝල්2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් ‍පොලිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට එක්විය.

අප් කන්ට්‍රි ලයන්ස් පිලට 34-7ක ජයක්

මෙවර තරගාවලියේ දී සී.ආර්.පිලට පස්වැනි පරාජයත් උරුම කරදෙමින් ලකුණු 34-7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අප්කන්ට්‍රි ලයන්ස් පිල සමත්විය.

තරගයේ පළමු භාගයේ දී ලකුණු 22-0ක් ලෙස ඉදිරියෙන් පසුවූ අප්කන්ට්‍රි පිල ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 4ක් වාර්තා කළේය. සී.ආර්. පිල ලබාගත්තේ ගෝලයක් පමණි.

ගුවන් හමුදාව පළමු ජය ලබයි

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන සී.එච්. පිලට එරෙහිව ලකුණු 45-19ක ජයක් ලබාගනිමින් මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත්විය.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 31-7ක් ලෙස ඉදිරියෙන් පසුවූ ගුවන් හමුදාව ගෝල් 6ක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර සී.එච්. පිල ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා