අනේ මටත්; අටුකොස් පැළයක්!

අනේ මටත්; අටුකොස් පැළයක්!

ශ්‍රී ලංකාවේ සියලු දෙනා ම යම් තරමක ගොවියෝ ය. මහසෙන්, වසභ, ධාතුසේන වැනි රජවරු මහා වැව් තනා දේශීය කෘෂිකර්මය වැඩි දියුණු කළහ. මහා පරාක්‍රමබාහු වැනි රජවරු ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීම සඳහා දැවැන්ත කෘෂිකාර්මික විප්ලවයක් ඇති කළහ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, බණ්ඩාරනායක පමණක් නොව; වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද එතුමාගේ පියා ද හොඳ ගොවියෝ වෙති.

මඩ සෝදාගෙන; වක්කඩට උඩින් පැනවිත් ඡන්ද අපේක්ෂක ඉල්ලුම් පත්‍රයට අස්සන් කළ කතාව මුළු රට ම දනිති. අපට - දැනෙන හා හැඟෙන ලෙස මේ බිමෙහි ඕනෑ ම පුරුෂයකුගේ දෑත් කැත්තට - උදැල්ලට හුරු විය යුතු ය. එසේ නොමැති පුද්ගලයා අර්ධ මිනිසෙකි. ඉහත පූර්විකාව ලියා තැබීමට මුල් වූයේ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළ අභියෝගය යි.

ඇමැතිවරයාගේ අභියෝගය වූයේ වත්මන් එක්සත් ජාතික පක්‍ෂය මෙරට ගොවියා වෙනුවෙන් සිදු කළ එක යහපත් සාධකයක් ඉදිරිපත් කර පෙන්වා දෙන්න යන්න ය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වන්නට දෙයක් නැත. එතුමා මේ අභියෝගය භාර ගන්නේ ද නැත. වික්‍රමසිංහ මහතා ඇතැම්විට වෙනත් අපභ්‍රංශයක් කියන්නට ඉඩ තිබේ. 1980 ගණන්වල නව කාර්මික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට උත්සාහ කළෝ රනිල් වික්‍රමසිංහ බඳු දේශපාලකයෝ ය. එහි එක් අරමුණක් වූයේ දේශීය කෘෂිකර්මය දුර්වල කිරීම ය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගෙන් පසුව දේශීය කෘෂිකර්මයට සේවයක් කළ නායකයකු එ. ජා. ප.යේ නැත. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ප්‍රකට වූයේ ගෙවල් හැදීමට හා ඇඟලුම් කම්හල් ගොඩනැඟීමට ය. එතුමාගේ ඇඟලුම් කම්හල් වැඩසටහන සඳහා ඇතැම් වී ගබඩා ද යොදා ගත්තේ ය. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාට කිසිවක් කිරීමට කාලයක් තිබුණේ නැත. හිටපු එ. ජා. ප. නායකයන් සමඟ සසඳන කල රනිල් වික්‍රමසිංහ මහතා කිසිවක් ම සිදු කර නැත.

එතුමා පිළිබඳ මතකය අවදිකළ හැක්කේ ප්‍රභාකරන් සමඟ ගිවිසුම් අස්සන් කිරීම හා කුඹුරු ගොඩකොට හෝටල් ඉදිකිරීම වැනි සංකල්ප මුල් කරගෙන ය. ශ්‍රී ලංකාවේ දේශගුණය, භූ විසමතාව, පස හා ස්වභාවික සම්පත් සැලකිල්ලට ගන්නා කල කෘෂිකර්මයෙන් තොර සංවර්ධනයක් ගැන කල්පනා කිරීම මුළාවකි. රටේ ශිෂ්ටාචාරය, උරුමය හා මානව කුසලතා වර්ධනය වී ඇත්තේ ද දේශීය කෘෂිකර්මය පදනම් කරගෙන ය. ලෝක ආහාර අර්බුද ගණනාවකට මුහුණ දී ඇතත්; ශ්‍රී ලංකාව එම අර්බුද හමුවේ භයානක ඉරණමකට මුහුණ දුන්නේ නැත.

ඊට හේතුව වන්නේ කෘෂිකර්මය අපගේ උරුමයක් ලෙස සලකා කටයුතු කිරීම ය. නිදසුනක් ගතහොත් අපගේ දේශපාලන නායකයෝ පවා කෘෂිකර්මයෙහි යෙදෙති. කුඹුරක් – දෙකක් නැති ඇමැතිවරයකු ඇත්තේ කලාතුරෙකින් ය. 2005 ට පෙර ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකර්මයේ පරිහානියට බල පෑ ප්‍රධාන සාධක දෙකක් තිබිණි. පළමුවැන්න එක්සත් ජාතික පක්ෂයේ නව කාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ය. දෙවන්න ජනතා විමුක්ති පෙරමුණෙහි විනාශකාරී ක්‍රියාවන් ය. නව කාර්මික ප්‍රතිපත්තිවලට අනුව කෘෂිකර්මය දුර්වල කැරිණි.

දේශීය ගොවියා ගත් ණය ගෙවාගත නො හැකි ව වස බී මියෙන තත්ත්වයට ඇද වැටිණි. ජනතා විමුක්ති පෙරමුණ ගොවි ජන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ගිනි දමා විනාශ කළේ ය. ග්‍රාමීය ගොවිතැන නැංවූ ප්‍රධාන සාධකය වූයේ ගොවි ජන මධ්‍යස්ථානය යි. ඒ හැරෙන්නට තේ කර්මාන්ත ශාලා ගණනාවක් ද ජ. වි. පෙ. විසින් විනාශ කරන ලදී. ඕනෑ ම රාජ්‍යයක දේශීය කෘෂිකර්මය නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. එහි කෙටි කාලීන වැඩසටහන් මෙන් ම දිගුකාලීන වැඩසටහන් ද ක්‍රියාත්මක විය යුතු ය. මහින්ද චින්තනය තුළ ඒ සියල්ල සංගෘහිත ය.

යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත විය. ඇතැම් වෙළෙඳුන්ගේ කූට ව්‍යාපාර හා කුමන්ත්‍රණ නො වන්නට මෙරට සහල් මිල තවදුරටත් පහළ යනු ඇත. සහල් පමණක් නොව අනෙකුත් ආහාර භෝග අතින් ද ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ය. දැනට අඩුපාඩුවක් ලෙස ඇත්තේ ඒවා ඇසුරුම් කිරීම, ප්‍රවාහනය හා බෙදාහැරීම වැනි කරුණු ය. පොහොර හා බීජ සැපයීම අතින් රට බොහෝ ඉදිරියෙන් සිටී.

කෘෂිකර්මයේ දියුණුව සඳහා රජයක් විසින් කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. ගොවිතැනට අවශ්‍ය ජලය හා පොහොර සැපයීම එයින් පළමුතැනට වැටේ. දෙවනුව ගොවි උපකරණ, පලිබෝධ නාශක හා උපදේශන ආදිය සැපයීම කළ යුතු ය. තෙවනු ව ගොවියාගේ නිෂ්පාදන සඳහා සාධාරණ හා යුක්ති සහගත මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. රජරට හා වන්නි කලාපවල ගොවියා කුඹුරු අස්වැද්දීම සඳහා ජලය ලබාගන්නේ ප්‍රධාන හා අප්‍රධාන වැව් මාර්ගයෙනි. අව ම ලෙස ගමකට කුඩා වැවක් හෝ තිබිණි.

නැතහොත් කුඩා ගම්මාන කිහිපයකට වැව් කොටුවක් හෝ තිබිණි. අද වන විට ඒවායින් බොහොමයක් ගොඩ වී ඇත. වැව් පද්ධතිය ශ්‍රී ලංකාව සතු ප්‍රධාන සම්පතක් වන අතර කලින් - කලට ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුය. මෑතකදී කරන ලද සොයා බැලීමක දී පැහැදිලි වී ඇත්තේ 1940 ගණන්වලින් පසු ව මේ වනතෙක් ම ප්‍රතිසංස්කරණයට ලක් නො වූ ප්‍රධාන වැව් විශාල ප්‍රමාණයක් ඇති බවය . ඇතැම් වැවක වේලි දුර්වලය. තවත්වැවක රොන් මඩ පිරී ඇත. තවත් වැව්වල ජල කාන්දු තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගලට ගොස් මාගල්ල වැව ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කළේ ය.

දැන් රට පුරා වැව් ප්‍රතිසංස්කරණය පටන් ගෙන තිබේ.අප කව්රුත් දන්නා ලෙස පසුගිය මාස කිහිපයේ නියඟයක් පැවැතිණි. තවම එය මුළුමනින් අවසන් වී නැත. නියඟයේ වලිගයෙන් අල්ලාගත් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය ගොවියන් උසිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. ජ. වි.පෙ. සූදානම වූයේ අමුඩ ගසාගත් ගොවියන් කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් කිරීම ය. ගොවීන් ඊට එකඟතාව පළ කළේ නැත. තඹුත්තේගම ගොවි රැලියකට ගොස් කතාවක් කිරීමට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ගොවීන් විසින් ම හූ සංග්‍රහයක් පවත්වා එළවා දමන ලදී.

ඇතැම් දේශපාලකයන් හිතන තරම් පහසුවෙන් ගොවියා මුලා කළ නො හැකි ය. කිසියම් දේශපාලන කටයුත්තක් සඳහා අහම්බෙන් මෙන් ගමකට කඩා වදින දේශපාලන නායකයකු අටුකොස් වලින් තැනූ රසවත් ආහාරයක් භුක්ති විඳ පසුව ගෙහිමියන්ගෙන් අටු කොස් පැළයක් ඉල්ලා සිටිත් නම්; එම දේශපාලන නායකයාට දේශීය කෘෂිකර්මය ගැන ඇති හැඟීම හා දැනීම ගැන වෙනත් කතා අවශ්‍ය නැත. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එබඳු තැනැත්තෙකි. ඔහු වැනි අයගෙන් කෘෂිකර්මික ප්‍රබෝධයක් අපේක්ෂා කළ නොහැකි ය. ඔහුට අභියෝග ඉදිරිපත් කිරීම ද නිෂ්ඵල ක්‍රියාවකි. එහෙත් ඒ මඟින් යම් දේශපාලන යථාර්ථයක් හෙළිදරව් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා