විදේශ ගමන් බලපත්‍රය ඉක්මන් කරන්න තැරැව්කරුවන්ට සල්ලි දෙන්න එපා

විදේශ ගමන් බලපත්‍රය ඉක්මන් කරන්න තැරැව්කරුවන්ට සල්ලි දෙන්න එපා

විදේශ ගමන් බලපත්‍රය කඩිනමින් ලබාගැනීමේදී කිසිඳු බාහිර පාර්ශ්වයක් වෙත මුදල් නොගෙවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබාදෙන බව පවසා බාහිර තැරැව්කරුවන් විවිධාකාරයෙන් මුදල් ලබා ගන්නා අතර එවැනි පුද්ගලයන් සඳහා මුදල් ගෙවීම අවශ්‍ය නොවන බවද විදේශ ගමන් බලපත්‍රය කඩිනමින් ලබාදෙන බවද ආගමන හා පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා අවධාරණය කරයි.

විදේශ ගමන් බලපත්‍රය පැය දෙකෙන්, තුනෙන් දෙන බව පවසා තැරැව්කරුවන් විසින් මුදල් ලබා ගන්නා බව පවසන ඒ මහතා එවැනි පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසද එම බලපත්‍රය කඩිනමින් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද සඳහන් කරයි.

මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ විදේශ ගමන් බලපත්‍රය, අදාළ රිසිට් පත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටරය වෙත ලබාදීමෙන් අනතුරුව කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවද ආගමන හා පාලක ජනරාල්වරයා කියාසිටී.

උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සමඟ ඡායාරූප තුනක් සහිතව නිවැරැදි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් විදේශ ගමන් බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඒ වෙනුවෙන් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අයදුම්පත් ලබාගත හැකි බවද චූලානන්ද පෙරේරා මහතා කියයි.

එක්දින හා සාමාන්‍ය සේවා පවත්වාගෙන යමින් ජනතාවගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම වෙනුවෙන් විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා