පුහුණුකරු ළඟ සිටියා නම් මීට වඩා දස්කම් දක්වනවා

පුහුණුකරු ළඟ සිටියා නම් මීට වඩා දස්කම් දක්වනවා

වෙඩි තැබීමේ ඉසව්වෙන් 47වැනියා මංගල කියයි

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 50 රයිෆල් ප්‍රෝන් වෙඩි තැබීමේ ඉසව්වේ සහභාගි වූ ක්‍රීඩකයන් 50ක් අතරින් මංගල සමරකෝන් 47වැනි ස්ථානයට පත්විය. ලන්ඩන් රාජකීය යුද හමුදා කාලතුවක්කු වෙඩි පිටියේ පැවැති මේ තරගයේ දී මංගල සමරකෝන් ලකුණු 585ක් වාර්තා කළේය.

මෙහි ‍හොඳම කාලය වාර්තා කළ බෙලරුස් හී සර්ගි මැට්නොව් ලකුණු 600ක් ලබා ඔලිම්පික් වාර්තාව මෙන්ම ලෝක වාර්තාව ද සම කළේය. මංගල සමරකෝන් වරකට උණ්ඩ 10 බැගින් තරග වට 6ක දී ප්‍රහාර එල්ල කළේය. එක් වටයකදී උපරිම ලකුණු 100ක් ලබාගත හැකිය.

එහෙත් ඔහු තෙවැනි වටයේ දී පමණක් ලකුණු 100ක් ලබාගත් අතර අනෙක් වටවලදී ලකුණු 96, 98, 97, 97, 97 ලෙස වාර්තා කළේය. මේ තරගයේ දී ආසියාවේ බො‍හෝ ක්‍රීඩකයන් පසුබෑමට ලක්වීම කැපී පෙනුණි. මංගල සමරකෝන් මේ අවසන් තරග ඉසව්වට පිවිසියේ තම පෞද්ගලික දක්ෂතාව වූ ලකුණු 593ඉක්මවා යාමේ අදහසිනි. එය 2006 දකුණු ආසියානු රන් පදක්කම දිනා ගනිමින් හා ආසියානු ක්‍රීඩා උලෙළේ 5වැනි ස්ථානයට පත්වෙමින් ඔහු තබා තිබුණි.

එම පෞද්ගලික දක්ෂතාව කරා යෑමට නොහැකිවීම පිළිබඳ මංගල සමරකෝන් සිය කනගාටුව පළ ක‍ළේය. එහෙත් මේ තරගාවලියේ ක්‍රීඩා කිරීමට හැකිවීම ගැන මංගල සමරකෝන් සතුටට පත්ව සිටී. විශේෂයෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් වෙඩි පිටියක ලෝකයේ දැවැන්තයන් සමග ක්‍රීඩා කිරීමට ලැබීම ඔහු භාග්‍යයක් කොට සලකයි.‍ 'ආසියානු මට්ටමේ දක්ෂතා දැක්වීම මගේ ඊළඟ අරමුණයි.

ඊයේ තරගයේ දී සුළං තත්ත්වය බලපෑවා. අවසන් අවස්ථා කීපයකදීම නිවැරැදි ඉලක්කය ලබා ගැනීමට නොහැකිවූයේ සුළං හැමීම නිසයි.' 'දකුණු ආසියානු තරගාවලියේ දී විශේෂ යමක් කරන්න පුළුවන් වේවි. හොඳින් පුහුණුවීම් කටයුතු කරමින් මේ ඉසව්වේ ඉදිරියට යෑමට මා බලාපොරොත්තු වෙනවා.' මංගල සමරකෝන් පැවැසීය.

මංගල සම‍ර‍කෝන්ට පුහුණුව ලබාදුන් බ්‍රිගේඩියර් එඩීමා මහතා මේ තරගයට එක්ව සිටියේ නම් තමාට මානසිකව ශක්තියක් ගොඩනැගෙන බව ද සමරකෝන් පැවසීය. තරගයට පෙර ලැබෙන උපදෙස් ක්‍රීඩකයකුට අත්‍යවශ්‍ය බව මංගල සමරකෝන් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට ඔලිම්පික් උලෙළේ තවත් ඉතිරිව ඇත්තේ ක්‍රිස්ටීන් මෙරිල් සහභාගි වන මීටර් 400 කඩුලු පැන දිවී‍මේ තරගය හා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගිවන මැරතන් තරගය පමණි. මීටර් 400 කාන්තා කඩුලු පැන දිවීමේ තරගයට ක්‍රිස්ටීන් මෙරිල් සහභාගි වන්නේ හෙට (5) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ටය. එම තරගය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. අනුරාධ එක්වන මැරතන් තරගය ක්‍රීඩා උලෙළ සමාප්තවන 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ ක්‍රීඩා උලෙළේ දී ලොවම බලා සිටින විශ්වයේ වේගවත්ම මිනිසා හා වේගවත්ම කාන්තාව ‍තෝරා ගන්නා තරග හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතය. එය මලල ක්‍රීඩා තරගවල උච්චතම අවස්ථාවක් ‍වේ. මීටර් 100 කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 2.25ට හා මීටර් 100 පිරිමි අවසන් තරගය හෙට අළුයම 2.20ට පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා