තඹුත්තේගම පොලිසිය ඉදිරිපිට කලබලකාරීන් අත්අඩංගුවට

තඹුත්තේගම පොලිසිය ඉදිරිපිට කලබලකාරීන් අත්අඩංගුවට

තඹුත්තේගම බිලිබෑව ප්‍රදේශයේ දී අත්ට්‍රැක්ටරයක් හා වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය යාමේ සිද්ධියේ වෑන් රියැදුරාට ඇප ලබාදීමට පොලිසිය සම්බන්ධ වූවායැයි පවසමින් පෙරේදා (02) පොලිසියට ගල් ගසමින් උද්ඝෝෂණය කළ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි වාර්තාවේ.

මෙම පිරිස් පොලිසිය මඟින් වීඩියෝ පට පරීක්‍ෂාකර අත්අඩංගුවට ගන්නා බව පැවසේ. ඊයේ (03දා) සවස එක පමණ වනවිට පුද්ගලයින් විසිදෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණු බව තඹුත්තේගම පොලිසියේ නිලධාරියෙක් දිනමිණට පැවසීය.

මෙම සැකකරුවන් පෙරේදා (02) තඹුත්තේගම නගරයේදී මිය ගිය කාන්තාවගේ දේහය රැගෙනවිත් උද්ඝෝෂණය කළ අතර එයින් නොනැවතුණු සමහර පුද්ගලයින් පොලිසියට කඩවැදී ගල්මුල් ගසා අලාභහානී සිදුකර තිබිණි. මෙයින් තඹුත්තේගම පොලිසියේ දොර ජනෙල් කීපයකට අලාභහානි සිදුවී තිබුණි.

වීඩියෝ පටය පරීක්‍ෂා කර බලා ඉතිරි සැකකරුවන්ද තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නා බව පවසන පොලිසිය අත්අඩංගුවට පත්වූවන් අතර රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුද සිටින බව පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා