නියඟයට දේශපාලන අර්ථ දීම විපක්ෂයේ කුහකකමක්

නියඟයට දේශපාලන අර්ථ දීම විපක්ෂයේ කුහකකමක්

ඩබ්ලිව්. බී. ඒකනායක
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ නියෝජ්‍ය ඇමැති

තුරුමැද ඇතුළු සෙසු පළාත් සභාවල මැතිවරණයේ වර්තමාන තත්ත්වය, නියඟයෙන් අසහනයට පත් ගොවි ජනතාව වෙත අවශ්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙළ හා තවත් කාලීන හා සමාජ කරුණු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* උතුරුමැද පළාතේ මැතිවරණය ළංවීමත් සමඟ දේශපාලන උණුසුම ඉහළ ගොස් තිබෙනවා. මේ මැතිවරණය ආණ්ඩුවට අභියෝගයක් නොවෙයිද?

අපට කිසිදු අභියෝගයක් නැහැ. ජයග්‍රහණය ලැබීම ගැනත් ප්‍රශ්නයක් නැහැ. ජනතාව ආණ්ඩුව සමඟ දිගු කාලයක සිට ඉන්නේ. ඒ නිකම්ම නොවෙයි ආණ්ඩුව රජරට ජනතාවට වගේම මුළු රටටම විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා.

ඒ නිසා තමයි ජනතාව මේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන්නේ. යුද්ධයට බිලිවී රට අරාජික තත්ත්වයකයි තිබුණේ. මේ පළාත්වල උදේ කුඹුරට හේනට ගිය මිනිහා හවසට ගෙදර ආවේ නෑ. කොටි කපලා කොටලා මරනවා. අන්තිමට අනුරාධපුර නගරයටත් කොටි ඇවිත් ගුවන් කඳවුර විනාශ කළා.

ඒ තරමටම අනුරාධපුර අපට යුද්ධය අතිමහත් පීඩනයක් වෙලයි තිබුණේ. ඒ තත්ත්වය නැතිකිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඇප කැපවීමෙන් වැඩ කළා. ඒ නිසා මුළු රටේම ජනතාව වගේම රජරට ජනතාවත් කෘතගුණ පූර්වකව සිටිනවා. ඒ නිසා මේ මැතිවරණයෙන් සන්ධානය ලබන ජයග්‍රහණය වැළැක්වීමට පුළුවන්කමක් කිසිම ජගතෙකුට නැහැ.

* ඒත් විපක්‍ෂය කියන්නේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පසුගිය අවුරුදු තුනේදී පහළ ගොස් තිබෙන බවයි. මේ මතය කෙතෙක් දුරට සාධාරණද?

විපක්‍ෂයට ඔය විදිහේ සිහින දකින්න නිදහසක් වගේම අයිතියක් තිබෙනවා. ඒත් ඔවුන් දකින සිහින කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ජනප්‍රියත්වය පහළ යාමක් නැහැ. ජනතාව වෙනුවෙන් කටයුතු කරන ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කැපවුණ ආණ්ඩුවක් මීට පෙර තිබිලා නැහැ. අනුරාධපුරයම ගනිමු. මීට අවුරුදු හයකට කලින් මෙහේ බොහෝ ගම්වලට වගේම සමහර අර්ධ නාගරික ප්‍රදේශවල විදුලිය වගේම මහාමාර්ග තිබුණෙත් අබලන් තත්ත්වයකයි. මේ පළාත් ගැන කවුරුවත් අවධානය යොමුකළේ නැහැ. ජනාධිපතිතුමා බලයට පැමිණි පසු තමයි අපේ පළාත් වගේ දුර බැහැර ප්‍රදේශවලට සංවර්ධනයේ අරුණැල්ල ලැබුණේ.

* ජලය හිඟවීම, නියඟය නිසා වගාබිම් පාළු වී ගොස් තිබෙනවා. ඒත් පීඩනයට පත් වූ ජනතාවට ආණ්ඩුවෙන් සහනයක් නැතැයි විපක්‍ෂය චෝදනා කරනවා. මේ චෝදනාවලට පදනමක් තිබෙනවාද?

මේ අය කතා කරන්නේ ජනාධිපතිතුමා ඇවිත් වැස්ස නැවැත්වූවා වගේ. ඒත් ස්වභාවධර්මය පාලනය කරන්න ජනාධිපතිතුමාට නෙවෙයි වෙනත් කිසිවකු ආවත් බැහැ. රජරටට කොහොමත් මේ ගෙවී යන්නේ වැසි සහිත කාලයක් නොවෙයි. මෙහෙට වහින්න පටන් ගන්නේ සැප්තැම්බර් පහළොවෙන් පස්සෙයි. දැන් වෙලා තිබෙන්නේ කඳුකරයට වර්ෂාව නොමැති වීම නිසා පහළ ජලාශ වියළී යාමයි.

එය බරපතළ තත්ත්වයක් වුණත් එයට දේශපාලන අර්ථකථන ලබාදීම නුසුදුසු හා කුහක දෙයක් විදිහට තමයි හඳුන්වා දීමට පුළුවන්කම තිබෙන්නේ. ආණ්ඩුව ජනතාව පත්ව සිටින අපහසුතාවය දන්නවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සහයෝගය, සහනය ලබා දීමට ඉදිරිපත් වෙලා සිටිනවා. ඒ වගේම ගොවියාට අතිශය සමීප ආණ්ඩුවක් විදිහට ගොවි දුක හඳුනන මේ ආණ්ඩුව මොන ප්‍රශ්නයක් ආවත් ගොවි ජනතාව අතහැර යන්නේ නැහැ.

* සහන ඉල්ලන ජනතාවට මැතිවරණ ලබාදීම නුසුදුසු දෙයක් කියලා ඇතැමුන් තර්ක කරනවා?

ඒ තර්කය සම්පූර්ණයෙන්ම වැරැදි දෙයක්. රටේ ස්වභාවික ආපදා තත්ත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අතර සමාන කිරීම් කරන එක නුසුදුසු දෙයක්. මැතිවරණවලින් ජයගන්න බැහැ ජනතාව ඔවුන් සමඟ නැහැ කියලා අදහසක් ඇති කරගත් දේශපාලන හීනමාන කාරයන් තමයි මේ විදිහේ තර්ක විතර්ක ගොඩනඟන්නේ. ඒ තර්කය සම්පූර්ණයෙන් දේශපාලන තර්කයක් මිසක් ජනතාවගේ පැත්තෙන් කල්පනා කර ජනතාව වෙනුවෙන් නඟන හඬක් නොවෙයි.

මැතිවරණයක් පැවැත්වීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කිරීමක්. මැතිවරණයකින් සිදුවන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමයි. ඒ නිසා මැතිවරණ එපා කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු වක්‍රව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එපා ජනසම්මතවාදය එපා කියලයි. එය අතිශය භයානක තත්ත්වයක්.

* ජලය නොමැති වීම හා ජල හිඟයට මූලික හේතුව ජල කළමනාකරණයේ දුර්වලකම යැයි ඇතැම් විශ්ලේෂකයෝ අදහස් පළ කරනවා. මේ තර්කය පිළිබඳ ඔබේ අදහස කොහොමද?

ජල කළමනාකරණයේ දුර්වලකමක් නොවෙයි වෙලා තිබෙන්නේ. අද බොහෝ වැව් හා ජලාශ රොන්මඩවලින් පිරී ගිහින්. ඒ නිසා පැයක් වහිද්දි ජලාශ පිරෙනවා. සතියක් පායද්දී ජලාශ හිඳෙනවා. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා ජලාශවල රොන්මඩ ඉවත් කිරීම මගින් ජලාශයේ ධාරිතාවය ඉහළ දමා ගන්න පුළුවන්.

* රනිල් වික්‍රමසිංහ මහතා ගොවීන් සඳහා අවශ්‍ය වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ විදිහේ ඉල්ලීමක් කරන්නට ඔහුට සදාචාර­ාත්මක අයිතියක් තිබෙනවාද?

ඔහුට ඇති සදාචාර­ාත්මක අයිතිය මොකක්ද කියලා එතුමාගේ කෙටි කාලීන පාලන කාලයේ දකින්න ලැබුණා. ඔහු ගොවියා අමතක කර කටයුතු කළා විතරක් නොවෙයි ගොවියා නොතකමින් කටයුතු කළා. මමත් හොඳ ගොවියෙක්. ඒ නිසා මම දන්නවා එදා ගොවියාට එතුමා සැලකූ විදිහ. ගොවියාට තියා අපි වගේ ගම නියෝජනය කළ ගැමි මහජන නියෝජිතයන්ට පවා රනිල් වික්‍රමසිංහ මහතා සැලකුවේ අඩු හැන්දකින්. එතුමාගේ පාලන කාලයේදී තමයි ගොවිබිම් ගොඩකර ගොඩනැගිලි ඉදිකිරීමට යෝජනා කළේ.

මේ අය තමයි අද ගොවියා පිළිබඳ කිඹුල් කඳුළු හෙළමින් කටයුතු කරන්නේ. අපේ අමාත්‍යාංශයට සෘජුව වන්දි ගෙවන්න බැහැ. ඒ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු මේ කර්යය සඳහා රජය අතගසා ඇති මොහොතක තමයි විපක්ෂය මේ විදිහේ කරුණු මතුකර දැක්වීමට උත්සාහ කරන්නේ. මෙතැන ගොවියා ගැන කිසිදු කැක්කුමක් නැහැ. අවස්ථාවාදි දේශපාලන න්‍යාය පත්‍ර පමණයි තිබෙන්නේ. ඒ නිසා අපි මේ ගැන වැඩිදුර කතා කිරීමෙන් සිදු කරන්නේ කාලය කා දැමීමක් පමණයි.

* උද්ධමනය ඉහළ යාම හා බඩු මිල ජනතාවට දරා ගැනීමට නොහැකි තරමින් ඉහළ යාම පිළිබඳත් ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. මේ චෝදනා කෙතෙක් දුරට සාධාරණද?

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම යන ප්‍රශ්නය අද ඊයෙක ඇති වූ දෙයක් නොවෙයි. දීර්ඝ කාලීනව මතුව එන කතා බහක්. ඒත් එදා තිබූ බඩු මිල නොවෙයි අද තිබෙන්නේ. එය තමයි ස්වභාවික තත්ත්වය වන්නේ. ඒත් ඔවුන් මෙතැනිනුත් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ. මේ දිනවල ඇතිව තිබෙන නියං තත්ත්වය නිසා එළවලු ඇතුළු දේවල අස්වැන්න පහළ ගියා. මේ තත්ත්වය තමයි මිල ඉහළ යාම්වලට බලපා තිබෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තරයේ මිල ඉහළ පහළ යාම්වල බලපෑමත් උද්ධමන තත්ත්වයට තවත් හේතුවක් වෙලා තිබෙනවා. මේ හැර මෙයට ආණ්ඩුව වගකිව යුතු යැයි කිසිවකු හෝ කියනවා නම් එය කුහක අදහසක් මිසක් තර්කානුකූල දෙයක් නොවෙයි.

* ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අහිමි වී යැයි චෝදනාවක් විපක්ෂය එල්ල කරනවා. මේ චෝදනා කෙතරම් දුරට සාධාරණද?

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ අයම තමයි පළාත් සභා මැතිවරණය එපා පළාත් සභා මැතිවරණ කල්දමන්න කියලා අදහස් පළ කරන්නේ. ඒ ගොල්ලොම අනෙක් පැත්තට හැරිලා ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියලා කියනවා නම් ඒක විසි එක්වන සියවසේ සිදු කරන ලොකුම විහිලුවක් කියලා කිව්වත් වැරැදි නැහැ. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා අද කියන මේ අය දැක්කේ නැහැ ත්‍රස්තවාදය තියෙද්දි මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තිබුණ හැටි.

එදා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. භීෂණ යුගයේදී ජවිපෙත් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අහිමිවන විදිහට කටයුතු කළා. ඒ විදිහේ අපකීර්තිමත් අතීතයකට උරුමකම් කියන අය තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන්නේ. ඇත්තෙන්ම අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඉතා ඉහළින් සුරක්ෂිත වෙලා තිබෙනවා. ඒ නිසා කවුරුන් හෝ කියනවා නම් නිදහස නැහැ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා එය සම්පූර්ණයෙන්ම ජනතාව මුලාවට පත් කිරීමක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා