යල් කන්නයේ වී රැස් කරන්න කල් තියා ම ගබඩා හිස් කරවයි

යල් කන්නයේ වී රැස් කරන්න කල් තියා ම ගබඩා හිස් කරවයි

* මණ්ඩලය ළඟට ගොවියා නොව ගොවියා ළඟටම ලොරි යවයි

* ගබඩාගත වී තොග කොටා වෙළෙඳ පළට සහල්

* කැකුළු රු. 45 - 50 ට: සම්බා 65 ට අඩුවෙන්

යල් කන්නයේ මිල දී ගන්නා වී තොග ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව, අම්පාර ඇතුළු සියලු ප්‍රදේශවල වී ගබඩා හිස් කර තබන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මඟින් වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙයි.

දැනට එම ගබඩාවල ඇති වී තොග කොටා සහල් කර කැකුළු සහල් රුපියල් 45 - 50 අතර මිලකට සහ සම්බා සහල් රුපියල් 65ට අඩුවෙන් ලබා දීමටත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිටත් ඒ සහල් තොග ස.තො.ස. වෙළෙඳ සල්වලින් මිල දී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී තිබේ. පොළොන්නරු සහ අම්පාර ප්‍රදේශවල වී ගබඩා හැටකට ආසන්න ප්‍රමාණයක් පවතී. දැනටමත් ඒ ගබඩාවල වී තොග කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

යල් කන්නයේදී ගොවියන්ගේ නිෂ්පාදන උපරිමයෙන්ම මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය මුදල් ප්‍රතිපාදන ලබා දීමටද පියවර ගෙන තිබේ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ගොවියන්ට වී තොග ගෙන ඒමට ඉඩ නොතබා මණ්ඩලයේ ලොරි ගොවියන් වෙත යැවීමටද කටයුතු යොදා තිබේ.

වැඩි වී අස්වැන්නක් ලබන ගොවියන් හඳුනාගෙන ඔවුන්ගේ වී මිලදී ගැනීමේ කටයුතු අස්වැන්න ලැබීමටත් පෙර සාකච්ඡා කර ගැනීම සඳහා ඔවුන් ;වත යෑමට වී අලෙවි මණ්ඩලයේ නිලධාරින්ට සහ නිලධාරිනියන්ට ගමන් පහසුකම් සඳහා ඊයේ යතුරු පැදි පනහකට ආසන්න ප්‍රමාණයක්ද බෙදා දෙනු ලැබිණි.

අම්පාර පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට නියඟය බලපෑවද වාරි ක්‍රම ඔස්සේ ජල සැපයුම් ලැබුණු සියලු කෙත්වතු සාර්ථක අස්වැන්නක් ලබාදෙන තත්ත්වයක පවතී. වී අලෙවි මණ්ඩලය ලාබ ලබන දෙපාර්තමේන්තුවක් වශයෙන් නොව වී මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සකසන තත්ත්වයක පවත්වාගෙන යෑම අරමුණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

වී අස්වනු සඳහා සහතික මිලක් ලබා දෙමින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමට වෙළෙඳ පොළ ආරක්ෂා කර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා