අද එජාපය දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා

අද එජාපය දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා

* සන්ධානය වටා එජාප බලකණු ඒකරාශී වෙනවා

* මෙවර අපට මන්ත්‍රීවරුන් දහ අට දෙනකුවත් ලැබේවි

පාක්ෂිකයන් හට නිසි මඟපෙන්වීමක් හෝ නායකත්වයක් හෝ ලබාදිය නොහැකි එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇතැයි උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැවසීය.

මේ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල බලකණු අද වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බව ද ඒ මහතා පැවසීය. අනුරාධපුරයේ හා මිහින්තලා ප්‍රදේශයේ පැවති උතුරුමැද පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගණනාවකට සහභාගි වෙමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙසේ ද කීය.

”මෙවර උතුරුමැද පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා ලොකු පෙරළියක් ඇතිවීමට පටන්ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා, යූ. එන්. පී, ජේ. වී. පී. මේ සියලු පක්‍ෂ අද එකම වේදිකාවකට එකතුව සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල බලකණු අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපත් සමඟ එක්වෙමින් සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්‍ෂයක ඉඳලා තේරුමක් නැති බව ගම්වල පාක්ෂිකයාගේ ඉඳලා ප්‍රාදේශීය සභා, පළාත් සභා මහජන නියෝජිතයින් දක්වා හැම කෙනාම අවබෝධ කරගෙනයි ඉන්නේ.

මේ නිසා අද එක්සත් ජාතික පක්‍ෂය නන්නත්තාර වෙලා. මේ නිසා තව තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන්. ගියවර පළාත් සභාවේ අපට මන්ත්‍රීවරු දහතුන්දෙනයි හිටියේ. මෙවර පවතින තත්ත්වය අනුව අපට මන්ත්‍රීවරු දහඅට දෙනෙක්වත් ලැබේවි කියා හිතෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකවරු තරුණ සංවිධාන ක්‍රියාකාරිකයින් ආදී විශාල පිරිසක් අපත් සමඟ එකතු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ ජනතාව බොරුවෙන්, කපටිකමෙන් රැවැටීම. පක්‍ෂයේ නායකයින් යැයි කියාගන්නා අයට හැමදාම ජනතාව රවට්ටන්න බෑ. ජනතාව අද එදාට වඩා බුද්ධිමත්. මේ නිසයි බුද්ධිමත් ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයෝ අද සන්ධානය වටා රොද බැඳ ගන්නේ. අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් තව වසර පහක් මේ රටේ විධායක ජනාධිපතිවරයායි.

වසර පහක් නෙවේ මැරෙනකම්ම මේ රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මැරෙනකම්ම මේ රටේ විධායක ජනාධිපති වගේම මැරෙනකම්ම උතුරුමැද මහ ඇමැති බර්ටි දිසානායකයි. අපි එහෙම බය නැතුව කියන්නේ මේ රටට වැඩක් කළ වැඩ කරන ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිසයි.

උතුරුමැදට වැඩ කරලා පෙන්නපු, වැඩ කරලා තියෙන, ජනතාව සමඟ සිටින ජනතා විශ්වාසය දිනාගෙන තියෙන නිසයි අපි කියන්නේ් මැරෙනතුරුම උතුරුමැද මහ ඇමැති බර්ටි දිසානායකයි කියල. මැතිවරණයෙන් මැතිවරණයට අප ලබාගත් ඡන්ද සංඛ්‍යාව හෝ මනාප සංඛ්‍යාව වැඩිවුණා මිස අඩුවෙලා නෑ. මෙවර පළාත් සභා මැතිවරණයත් විශිෂ්ට ජයග්‍රහණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබනවා. ඒ සඳහා ශ්‍රී ලංකා, යූ. එන්. පී, ජේ. වී. පී. සියලු දෙනා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අද එකට ඒකරාශී වෙමින් සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා