ඉන්දු–ලංකා මිතුදම කිසි ලෙසකින් පළුදු වීමට ඉඩ දෙන්නේ නෑ

ඉන්දු–ලංකා මිතුදම කිසි ලෙසකින් පළුදු වීමට ඉඩ දෙන්නේ නෑ

ඉන්දියා අගමැති අවධාරණය කරයි

ඉන්දු – ලංකා ගැඹුරු මිත්‍රත්වය කිසිදු ලෙසකින් පළුදුවීමට ඉඩ නොදෙන බව ඉන්දියා අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා අවධාරණය කරයි.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීයා අගමැතිවරයා අතර පෙරේදා (20) පැවැති නිල සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙළේය.

දෙරට අතර පවතින සබඳතා ආර්ථික කටයුතුවලදී මෙන්ම ආරක්‍ෂක කටයුතුවලදී ද තහවුරු විය යුතු බව ඉන්දියා අගමැති මෙහිදී සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම පිළිබඳ සිය සතුට පළ කළ ඉන්දියා අගමැතිවරයා උතුරු ප්‍රදේශයේ සිදු කෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතු සහ සංවර්ධන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් ඉන්දියා රජයේ මැදිහත්වීමෙන් උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස වැඩපිළිවෙළෙහි ඊළඟ අදියර ඇරඹීමට කඩිනමින් පියවර ගන්නා බව පැවසීය.

ඉන්දියා රජයේ අපේක්‍ෂාව හුදකලා ආර්ථික වර්ධනයක් නොව, දකුණු ආසියාවම සෞභාග්‍ය කරා ගෙන යාම බවත්, එම ප්‍රතිපත්තිය මත පදනම්ව තම ආර්ථික සැලසුම් සකසන බවත්, ඉන්දීය අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කපිල වස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලාට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු ගරු බුහුමන් පිළිබඳවද මෙහිදී සිය ප්‍රසාදය පළකළ ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලාංකීය ජනතාව සහ ඉන්දීය ජනතාව අතර ඇති සබඳතාවය මෙමඟින් ශක්තිමත් වන බව ද කියා සිටියේ ය.

සුහදතාවය, මිත්‍රශීලීත්වය වඩ වඩාත් තහවුරු කැර ගැනීම සඳහා දෙරටම කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ය. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, පා. ම. සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා