ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ජනපති ඉන්දියාවට වැඩම කරවයි

වසර 2300 පුරාවතට පුනර් පූජාවක්

ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ජනපති ඉන්දියාවට වැඩම කරවයි

‍ෙඑතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඉන්දියාවට වැඩම කරවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය පූජනීය සාංචි ස්තූපය අසල රෝපණය කෙළේය. සාංචි නුවර අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

එම අවස්ථාව සනිටුහන් කරමින් සාංචි ප්‍රදේශයට පැමිණෙන්නන් හට වන්දනාමාන කිරීම සඳහා ජනාධිපතිවරයා අතින් මේ බෝධි අංකුරය රෝපණය කැරිණි.

මෙයට වසර 2300කට පෙර පූජනීය සාංචි නුවර සිට අශෝක අධිරාජයා සිය පුත්‍රයා සහ දියණිය මහින්ද රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට සැපත් කරවූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහමට සරිකොට දයාවේ අවිහිංසාවේ, උපේක්ෂාවේ ඉවසීමේ සහ අවබෝධයේ පණිවිඩය රැගෙනයි.

ශ්‍රී ලංකාවේ විසූ අපගේ මුතුන් මිත්තෝ සුවිශේෂ ගෞරවාදරයකින් යුතුව ඒ උත්තමයන් පිළිගත්හ. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ සපැමිණීමේදී පිටදුන් බෝධි වෘක්ෂයේ අංකුරයක් බුද්ධගයාවෙන් රැගෙන ආහ. මේ පූජනීය වෘක්ෂය ලෝක ඉතිහාසයේ වාර්තාගත පැරැණිම වෘක්ෂය ලෙස පිළිගෙන තිබේ.

ක්‍රිස්තු පූර්ව 3 වැනි ශත වර්ෂයේ සිට එය අද වනතුරු ශ්‍රී ලාංකිකයන්ගේ වන්දනාමානයට ලක් වෙමින් ඓතිහාසික අනුරාධපුරයෙහි පවතී. එම වෘක්ෂයේම අංකුරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද ඉන්දියාවට රැගෙන ගොස් සාංචි ස්තූපය අසළ රෝපණය කරනු ලැබීම අතීතයේ සිට දෙරට අතර පැවැති ආගමික සබඳතා වඩාත් තහවුරු කිරීමට මහඟු පිටිවහලක් වනු ඇත.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා