හිටපු නි. සුව ඇමැතිගේ අල්ලපු වත්ත බදුල්ල පාසලට

හිටපු නි. සුව ඇමැතිගේ අල්ලපු වත්ත බදුල්ල පාසලට

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු අනවසරයෙන් අල්ලාගෙන ඇති බව කියන ඉඩමක් බැකෝ කර පාසලේ ක්‍රීඩා පිටියට ලබා දීමට ඌව පළාත් සභාවේ ක්‍රීඩා, විදුලිබල, කර්මාන්ත, යෞවන කටයුතු ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් ඇමැතිවරයා 20 වැනිදා සවස පියවර ගත්තේ ය.

පළාත් ක්‍රීඩා ඇමැතිවරයා 20 වැනි දින සවස බදුල්ල භාරති කනිෂ්ඨ විද්‍යාලයේ දරුවනට ක්‍රීඩා උපකරණ බෙදාදීම සඳහා පාසලට ගිය අවස්ථාවේ එහි පැමිණ සිටි දෙමාපියන් පාසලට ක්‍රීඩා පිටියක් නැති බවත්, පාසල අසල හිටපු නියෝජ්‍ය ඇමැති අනවසරයෙන් අල්ලාගෙන ඇති බව කියන ඉඩම පාසලට ලබා දෙන ලෙසත් පළාත් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කැර ඇත.

එම අවස්ථාවේදීම පළාත් ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් මහතා බැකෝ යන්ත්‍රයක් ගෙන්වා ඉඩම සමතලා කැර පාසලට ලබා දුන්නේය. ඉඩම ඩෝසර් කරන අවස්ථාවේ දී 300ක් පමණ දෙනා පමණ මව්පියෝ ප්‍රීති ඝෝෂා නගමින් විනෝද වූහ.

ඌව පළාත් ක්‍රීඩා ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට හේ මෙසේ ද කීය. හිටපු නියෝජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් එල්.ආර්.සී එකට අයත් අක්කරයක ඉඩමක් අල්ලාගෙන ඉන්නවා. රජයේ ඉඩම් ඇමැතිවරුනට අල්ලන්න බෑ. අසාධාරණ වැඩවලට මම කැමති නෑ. දරුවන්ට ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් අපි දිය යුතුයි.

රජයේ ඉඩමක් නිසා තමයි එය බැකෝ කරලා පාසලට ලබා දුන්නේ. ජනාධිපතිතුමාටත් මම මේ ගැන කියනවා. පස්සර ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහතා මෙසේ කීය. මගේ කියන ඉඩමක් එතැන නෑ.

එල්. ආර්. සී එකට අයත් ඉඩමක් මම වතු කම්කරුවන් දෙදෙනකුට ඇරගෙන දුන්නා. මගේ ඉඩම් නොවෙයි. රජයේ වුනත් ඇමැති කෙනකුට බලෙන් ඉඩම් බැකෝ කරන්න බෑ. මම පොලිසියටත් පැමිණිලි කළා. නීතිය මඟින් මම කටයුතු කරනවා.

අරුනාසවි සත්‍ය මුර්ති - මම මේ ඉඩමේ වසර 7ක් පදිංචි වෙලා ඉන්නවා. මට ඉන්න කිව්වේ වඩිවේල් සුරේෂ් මහත්තයා. ඉඩම මගේ නොවෙයි. මටත් ඉන්න තැනක් නෑ. විදුහල්පති එම්. සිද්ධාර්ථන් මහතා - පාසලේ ළමයි 800 යි. ගුරුවරුන් 50 යි.

ළමයින්ට ක්‍රීඩා පිටියක් නෑ. මම පළාත් අධ්‍යක්ෂක ගෙන් ක්‍රීඩා පිටියක් ඉල්ලුවේ. පාසලේ ක්‍රීඩා උපකරණ බෙදීමට ආපු සෙන්දිල් ඇමැතිතුමා පාසලට අල්ලපු ඉඩම බැකෝ කරලා පාසලට ලබා දුන්නා. බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ගොඩකන්ද මහතා - මම පසලට ආවේ උත්සවයකට. මොනවා වුණද කියන්න මම දන්නේ නෑ. මට හිතා ගන්නත් බෑ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා