ඇෆ්ගනිස්තානයට යැවුණු අතිරේක භට පිරිස් සම්පූර්ණයෙන්ම ඉවත් කරගනී

ඇෆ්ගනිස්තානයට යැවුණු අතිරේක භට පිරිස් සම්පූර්ණයෙන්ම ඉවත් කරගනී

ඇෆ්ගනිස්තා‍නයේ යුද්ධයක නිරත අමෙරිකානු හමුදාව ශක්තිමත් කරනු පිණිස ජානාධිපති බැරැක් ඔබාමා විසින් වසර තුනකට පමණ පෙරදි ඇෆ්ගනිස්තානයට යවන ලද 33000 ක අතිරේක භට පිරිසට අයත් අවසන් සෙබළා එරටින් පිටව ගිය බව අමෙරිකානු ආරක්ෂක නිලධාරිහු පෙරේදා ප්‍රකාශ කළහ.

ඉකුත් ජූලි මස ඇරඹුනු මේ සෙබළ මුළු ඉවත්කර ගැන්ම පසුගිය කාල‍යේදී නේටෝ සෙබළුන් ඔවුන්ගේ ඇ‍ෆ්ගන් සගයන් අතින් ඝාතනය වීම මැද ඉක්මන් කෙරිණ . එහෙත් තවමත් ඇෆ්ගනිස්තානයේ 68000 ක අමෙරිකානු හමුදාවක් සිටින අතර අන්තර් ජාතික ආරක්ෂක බලකායට අයත් නේටෝ භටයෝ 40000 ක්ද සිටිති.

තලේබාන්සටන්කාමිත්වය මර්දනය කිරීමෙහි ලා දරණ අමෙරිකානු ප්‍රයත්නයට දැන් අමෙරිකානු හමුදා අදියර කීපයක් යටතේ ඉවත් කරගැන්මද ඇතුළත්ව ඇත්තේ ඇෆ්ගන් බලකායන්ට ඔවුන්ගේ තැන ගැනීමට ලබා දෙන පුහුණුවත් සමගය. 2014 වනවිට ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇ‍ෆ්ගන් හමුදාවන්ටම පැවරෙනු ඇතැයි පැවසී තිබේ.

ඇ‍ෆ්ගනිස්තානයේ අමෙරිකානු හමුදාව තාවකාලිකව වැඩි කිරීමට ගත් පියවර තලේබානුවන්ට එරෙහිව දකුණේ හා නිරිත දිග ප්‍රදේශවල බලය තහවුරු කරගැන්මට ඉවහල් ව තිබිණ.දැන් තලේබානුවන් බලවත්ව ඇත්තේ පාකිස්තාන දේශ සීමාසන්න නැගෙනහිර කලාපයේය. බැරැක්ඔබාමා විසින් මෙසේ අමෙරිකානු හමුදාව තර කිරීමෙන් අපේක්ෂා කළ අරමුණ සපුරා ගනිමින් තලේබාන් ප්‍රවේගය ආපසු හැරවීමට සමත්ව ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා