රජයේ අතිකාල වියදම මසකට කෝටි 50ක්

රජයේ අතිකාල වියදම මසකට කෝටි 50ක්

විගණන අංශ හෙළිදරව් කරයි

 

* නිවාඩු සහ සති අග වැඩට ඇවිත් පිට වැඩ

* කියන්න තරම් ප්‍රගතියක් ආයතන ඇතුළේ නෑ

* මේ සල්ලි මකර කටේ නෙ‍ාදා අලුතින් රස්සා දෙන්න පුළුවන්

රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සඳහා ආණ්ඩුව මසකට රුපියල් කෝටි 25 - 50 අතර මුදලක් වියදම් කළත් එම අතිකාල සේවයෙන් අදාළ ආයතන කටයුතුවල සැලැකිය යුතු තරම් ප්‍රගතියක් නොමැති බව විගණක අංශ හෙළි කැරගෙන තිබේ.රජයේ දෙපාර්තමේන්තු, සමස්ත විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවක සේවිකාවෝ රාජකාරි වේලාවෙන් අමතරව, සති අන්ත දින සහ වෙනත් නිවාඩු දිනවල අතිකාල සේවයේ යෙදෙති.

ඇතැම් දෙපාර්තමේන්තු සහ සංස්ථාවල සේවකයෝ ඔවුන්ගේ මාසික වැටුප මෙන් දෙතුන් ගුණයක් අතිකාල දීමනා ලබති. දැනට මෙරට ආයතනවල රාජ්‍ය සේවක සේවිකාවෝ ලක්ෂ 12ක් පමණ සිටිති.

ඔවුන්ගෙන් හරි අඩකටත් වඩා අතිකාල සේවයේ යෙදෙති. ඇතැම් රාජ්‍ය ආයතනවල අතිකාලවලට අමතර යම් වැඩකොටසක් අවසන් කිරීම සඳහා විශේෂ දීමනා ලබා දෙන අවස්ථා වෙයි.ඊට අමතරව මහජන සේවාව විධිමත්ව සිදුකිරීම සඳහා බොහෝ රාජ්‍යදෙපාර්තමේන්තු, සංස්ථා රුපියල් ලක්ෂ ගණන් වියදම් කැර එස් 5 ක්‍රමයට සකස් කැර තිබේ. නව තාක්ෂණයද උපයෝගි කැරගෙන ඇත.

බොහෝ සේවක සේවිකාවන්ගේ අතිකාල පැය ගණන 240 දක්වා තිබේ. එහෙත් විගණක අංශ මගින් සොයාගෙන තිබෙන්නේ මෙතරම් මුදල් වියදම් කළත් රැකියාවල කටයුතු තවදුරටත් ගොඩ ගැසී ඇති බවයි.

නිවාඩු සහ සති අන්තවල අතිකාල සේවයට එන සේවක සේවිකාවෝ සේවයට වාර්තා කැර පසුව ඔවුන්ගේ පෞද්ගලික කටයුතු සඳහා ආයතනවලින් බැහැර වෙති. පසුව යළි පස්වරුවේ පැමිණ සේවය අවසන් කරති. කොළඹ හා ඒ අවට රජයේ ආයතන රැසක සේවක සේවිකාවෝ මෙම වංචාව සිදු කරන බව හෙළි කැර ගෙන තිබේ. එම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණක අංශවලින් වැඩි ප්‍රමාණයක් මෙම වංචාව සොයා නො බලන බවද සොයාගෙන ඇත.

ඇතැම් රාජ්‍ය සේවකයන් අමතර සේවා නැතත් අතිකාල ලබා ගැනීමේ අරමුණ ඇතුව දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ අවසරය මත සේවයට පැමිණෙන බවද වාර්තා වෙයි. රජය මෙතරම් විශාල මුදලක් අතිකාල සඳහා යොදවා තිබියදී සේවය හරිහැටි නොවන්නේ නම්, එම මුදලින් අලුතින් රැකියාවක් සඳහා පුද්ගලයකු බඳවා ගෙන වැටුප් ගෙවිය හැකි බව විගණක අංශ පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා