හජ් උත්සවය වෙනුවෙන් සිරියාවේ පනවා තිබූ සටන් විරාමය බිඳ වැටේ

හජ් උත්සවය වෙනුවෙන් සිරියාවේ පනවා තිබූ සටන් විරාමය බිඳ වැටේ

හජ් උත්සවය වෙනුවෙන්වූ සිවුදින ආගමික නිවාඩු සමයේ සිරියාවේ ප්‍රකාශයට පත්කර තිබූ සටන් විරාමය බිඳ වැටී තිබේ. ඩැමස්කස් නගරයට සහ උතුරු දිග ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වි ඇති අතර සිරියාව පුරා සටන් ඇවිලී ගොස් තිබේ. සිකුරාදා ආරම්භ වු මේ වකවානුව තුළ 221ක් මිය ගිය බව වාර්තා වේ. ඩැමස්කස් හී කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ප්‍රදේශයක ගොඩනැගිල්ලකට රජයේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් 8 දෙනෙක් මිය ගොස් තිබේ.

ජගත් සංවිධාන - අරාබි ලීග සාම නියෝජිත ලක්දා බ්‍රහිමි විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය නිශ්චය වශයෙන්ම අවසන් වී ඇතැයි අලිප්පෝ කැරලිකාර හමුදාවේ අණදෙන නිලධාරියා පවසයි. සටන් විරාමය ආරම්භවීමත් සමඟ එය මියැදුන බව නිදහස් සිරියන් හමුදාවේ හමුදා කවුන්සල ප්‍රධානී අබ්දෙල් ජබා ප්‍රකාශ කර තිබේ.

මුලින් රාජ්‍ය විරෝධී කැරැල්ලක් වශයෙන් ආරම්භ වූ සිරියන් අරගලය දැන් සිවිල් යුද්ධයක් දක්වා දිග්ගැස්සී ඇති බව සිරියන් නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. දැන් මෙය සුන්නි කැරලිකරුවන් සහ බෂා අල් අසාද් ගේ සුළුතර ෂයිටිවරුන් අතර අරගලයක් බවට පරිවර්තනය වී ඇත. කුර්දි සටන්කාමීන් යන තුන්වන පාර්ෂවයක් ද මේ ගැටුමට අවතීර්ණ වී ඇත. කැරලිකරුවන් සහ කුර්දිවරුන් අතර සිකුරාදා ඇතිවු ගැටුම්වලින් 30 දෙනෙක් මියගොස් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට පත්වි ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා