මහසඟරුවනට සිවුපසය පිළිගැන්වූවෝ සන්නස්පතින් අගැයුම් ලැබුවෝ

මහසඟරුවනට සිවුපසය පිළිගැන්වූවෝ සන්නස්පතින් අගැයුම් ලැබුවෝ

කඳුබොඩ සියනෑ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ආරම්භයේ සිට මේ දක්වා වසර පනස්හයක් දෙස් විදෙස් යෝගාවචර භික්ෂු භික්ෂුනීන් වෙනුවෙන් සිවුපසයෙන් ඇප උපස්ථාන කළදායක පින්වතුන් දෙසිය පනස්දෙනකු අඟයමින් ඔවුන්ට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් අතින් පසුගියදා සිදුවිය.

කඳුබොඩ සියනෑ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක මහා කම්මට්ඨානාචාර්්‍ය ඉගුරුවත්තේ පියනන්ද නාහිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ දියසෙන්පුර විමලහිමිපාණන් ඇතුළු විහාරස්ථදායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැති මෙම පින්කම වෙනුවෙන් කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම , කඳුබොඩ ශ්‍රී සුමතිපාල සෙනසුන් අරණෙහි අනුශාසක ප්‍රධාන කම්මට්ඨානාචාර්්‍ය ගම්පහ පේමසිරි, බුත්පිටියේ සමිත යන නායක ස්වාමීන්වහන්සේ යුද හමුදා මනෝවෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල් බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අනුශාසනාවක් කළ කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමියෝ මෙසේ කීහ.

කඳුබෝඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය අපේ රටේ විදර්ශනා භාවනා ක්‍රමය ව්‍යාප්ත කිරීමට මුල්වූ ආයතනය වනවාසේම මේ රටේ නැති වී ගිය විදර්ශනා භාවනා මාර්ගය නැවත හඳුන්වා දුන් ආයතනය වනවා.

1956 වර්ෂයේ එවකට අගමැති ශ්‍රීමති ජෝන් කොතලාවල බුරුම ජාතික ඌ ෂෝ, ඌ සුජාතා, කහටපිටියේ සිරි සුමතිපාල නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් මේ මධ්‍යස්ථානය ආරම්භ වුණා. මුළු රටම මේ ස්ථානයට අවනත වුණා. දෙස් විදෙස් යෝගාවචර භික්ෂුන් වහන්සේ දසදහස් ගණනක් මේ ස්ථානයෙන් භාවනා ක්‍රම ප්‍රගුණ කළා.

රටේ ගෞරවාදරයට පාත්‍ර වූ මේ මධ්‍යස්ථානය ආරක්‍ෂා කර ගනිමින් දිවයිනේ නන්දෙසින් පැමිණ දෙස් විදෙස් යෝගාවචර භික්ෂුන් වෙනුවෙන් සිවු පසයෙන් ඇප උපස්ථාන කළ පිරිස අගයමින් මෙවැනි පින්කමක් සූදානම් කිරීම සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හේතු වෙනවා.

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක ඉගුරුවත්තේ පියනන්ද නාහිමි රටේ හැමතැනම ගෞරව නාම දෙනවා.

අපි මේ මධ්‍යස්ථානයට සිවුපසය සපයන සියලු දෙනා වෙනුවෙන් ඔබ කළ ශාසනික සේවය අඟයමිනුයි මේ අගැයීම කරන්නේ.

මෙහිදී ස්වාමීන්වහන්සේ විසිනමක් හා සිල්මෑණිවරු දසදෙනකු ඇතුළු ගිහිදායකයින් දෙසිය පනස් දෙනකු වෙනුවෙන් සන්නස් පත්‍රය පිළිගැන්වීම කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් අතින් සිදු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා