ජීවිතයට ගැම්මක් දෙන කතාවක්

ජීවිතයට ගැම්මක් දෙන කතාවක්

“අධික රුධිර වහනයෙන් මිය ගිය බොහෝ ගර්භණී මවුවරු මෙන් මට මිය යන්නට බැරි ය. ඒ නිසා ගබ්සාවක් කර ගැනීමට මට අවැසි නැත. මට මිය යන්නට අවශ්‍ය ම නැත. මා මිය ගියහොත් මිනී පෙට්ටියක් මිල දී ගන්නටවත් කිරි අම්මාට හැකියාවක් නැත. පසුගිය කාලයේ තාත්තා සාමාජික ගාස්තු නොගෙවීම නිසා ගමේ මරණාධාර සමිතියෙන් ද අපේ නම කපා දමා ඇති බැවින් මා මිය ගියහොත් මගේ මිනිය ද වත්තේ කිරි අම්මාට බරක් වනු නො අනුමාන ය.”

(14 - පරිච්ඡේදය - 62 පිටුව)

ඉහතින් දක්වා ඇත්තේ චිත්‍රා රොඩ්‍රිගෝ මහත්මියගේ “බාරාබැද්දිය’’ නම් නවකතාවේ උද්දෘතයෙකි. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ ඛේදවාචකයෙන් බිඳක් එහි සටහන් ව තිබේ. සිංහල නව ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳ කාන්තා දායකත්වය සතුටුදායක වන නමුදු, ස්ත්‍රීන්ගේ ගැටලු තත්වාකාරයෙන් ගෙන - සාර්ථක නිරූපණයන් ද සහිත ව රචනා වූ නවකතා ගණන අඩු ය. එම අඩුව පිරවීමට කතුවරිය ගත් උත්සාහයක් සේ; ‘බාරාබැද්දිය’ හඳුන්වා දෙන්නට පුළුවන.

චිත්‍රා රොඩ්‍රිගෝ

මීට දින කිහිපයකට ඉහත දී විශ්ව කාන්තා දිනය සැමරිණි. විවිධ උත්සව හා සම්මන්ත්‍රණ පැවැත්වූ බව අපට මතක ය. එහෙත් ස්ත්‍රිය මුල් කරගත් සාහිත්‍යයක් පිළිබඳ කතිකාවක් වූ බවක් අපට මතක නැත. සමස්ත ලෝක ජනගහනයෙන් අඩක්ම ස්ත්‍රීන් බව සංඛ්‍යා ලේඛන මඟින් හෙළිදරව් වේ. ඔවුන්ගේ ගැටලු අතර ලිංගික සූරාකෑම ප්‍රධාන තැනක් ගනී. එහෙත් ඒ පිළිබඳ සංවාදය ප්‍රබල නැත. ඈත අතීතයේ සිට ම සාහිත්‍යයෙන් ස්ත්‍රිය නිරූපණය වූයේ හාස්‍යය හා උපහාසය කේන්ද්‍ර කොටගෙන ය. නූතන සාහිත්‍ය තුළ ද ස්ත්‍රී චරිත නිරූපණයෙහි ප්‍රබලත්වයක් දැකිය නො හැකි ය.

එකිනෙක සංස්කෘතියට, දේශපාලන සම්ප්‍රදායට හා ආර්ථිකයට අනුව ස්ත්‍රිය විවිධ ස්වරූපයෙන් ලිංගික සූරාකෑමට හසු වේ. අපේ වැඩවසම් සමාජය තුළ ස්ත්‍රියට නිදහසක් ලැබුණේ ම නැත. ඇගේ හඬ පවා යටපත් කර තිබිණි. එහෙත් ධනවාදී සමාජය තුළ ස්ත්‍රියට හඬක් තිබේ. පුරුෂ මූලික උපායමාර්ග ඔස්සේ ඉතා සූක්ෂ්ම ලෙස එම කාන්තා හඬ යටපත් කරනු ලැබේ. එය පළමු ක්‍රමයට වඩා භයානක ය. ශ්‍රී ලංකාව නියැදියක් ලෙස ගතහොත් ඉහළ ම වෘත්තිය දරන කාන්තාවගේ සිට නිවෙසක ගෘහණිය දක්වාම කිසිදු බුරුලකින් තොර ව ලිංගික සූරාකෑමට හසු වේ.

ශ්‍රී ලංකාව විශේෂයෙන් සලකා බැලුවහොත්; දසක තුනක පමණ කාලයේ සිට ස්ත්‍රී - ලිංගික සූරාකෑමේ අලුත් ප්‍රවණතාවක් දැකිය හැකි ය. එහි මූලික සාධකය වන්නේ කාන්තාව රට හැර යෑම ය. ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යන තරුණ කාන්තාව පිටරට නිවෙස් තුළ දී බලහත්කාරයට හසුවීම එහි එක් විලාසයෙකි. අනෙක් විලාසය වන්නේ එම පවුලේ ගැහැනු දරුවන් ඥාතීන් හා පිටස්තරයන් අතින් අපයෝජනයට ලක් වීම ය. මේ සිදුවීම් ජාලය ඔස්සේ පවුල් කඩාකප්පල් වීම, දරුවන් අපයෝජනයට ලක්වීම, ගර්භණී වීම හා සිය දිවි නසාගැනීම් වාර්තා වේ. චිත්‍රා රොඩ්‍රිගෝ මහත්මියගේ නවකතාවට පාදක වන්නේ එබඳු ශෝචනීය පසුබිමකි.

මෑත කාලීන සිංහල නවකතාවේ දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ මිනිස් ජීවිතවලට බද්ධ වූ සාමාජික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකිරීම ය. බොහෝ කතුවරු තමන්ගේ ම සිහින හා ප්‍රාර්ථනා ගොතන්නට උත්සුක වෙති. තවත් කතුවරු ප්‍රේමයට මුල් තැනක් දෙති. යථාර්ථවාදී නිරූපණ හිඟ වූ නිසා ම සිංහල නවකතාවේ ශිල්පීය පක්ෂය ද දුර්වල විය. මේ නිසා සිංහල පාඨකයා අතට පත් වූයේ මනස් පුතුන් බිහි කරන ජීවයෙන් තොර නවකතා ය. චිත්‍රා රොඩ්‍රිගෝ වැනි කතුවරියන් එම තත්ත්වය වෙනස් කිරිමට යම් මහන්සියක් ගන්නා බව පෙනෙයි. එය යහපත් ප්‍රවණතාවෙකි.

මේ කතාවේ ප්‍රධාන චරිතය පද්මා කුමාරී බණ්ඩාර ය. ඇය වයසින් අවුරුදු දහසයටත් අඩු යෞවනියකි. අම්මා පිටරට ගොස් ආපසු පැමිණ නැත. තාත්තා ගෙල වැලලා ගෙන මිය ගොස් ය. එක ම සහෝදරයා ද ඔවුනට අහිමි වී ගොසිනි. නංගිලා දෙදෙනකුගේ හා පුංචි මල්ලියකුගේ ද ජීවිත භාර ගැනීමට ඇයට සිදු වී තිබේ. ඒ අතර බාප්පා අතින් ඇය ගැබ්ගෙන සිටී. දුප්පත්කම, සමාජ පිඩනය, ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාව හා වෛරය මේ ජීවිත කිහිපය තුළ බලවත් සේ පවතී. ඔවුන් ජීවත්වීම සඳහා ගනු ලබන වැර - වෑයම හැම අතින්ම පුදුමාකාරය.

ප්‍රධාන චරිතය ගොඩනැඟී ඇත්තේ දිරිය දියණියකසේ ය. නූතන සමාජයට අවශ්‍ය වන්නේ සුළු පසුතැවීමකට පවා කනේරු ඇට කා මියෙන හෝ ගඟට පනින හෝ දියණියක නොවේ. විභාගය අසමත්වීම දිවි නසාගැනීමට හේතුවක් ද? ඇතැම් ශිෂ්‍යාවක එක විෂයයකට පමණක් විශිෂ්ට සාමාර්ථය නැතිව දිවි නසාගත් අවස්ථා වාර්තා වී තිබේ. මෙහි එන පද්මාට පාසල් ජීවිතයක් නැත. ඒ අතර ගර්භණීභාවය නිසා සමාජ අපවාද දිගින්– දිගටම එල්ල වේ. එහෙත් ඇයට දිවි නසාගන්නට පුළුවන්කමක් නැත. ඇය එසේ කළහොත් තවත් ජීවිත හතරක් ඉබේම විනාශ වනු ඇත. පද්මා ජීවත්වීම සඳහා මාර සටනකට පිවිසෙනුයේ එම හේතුව නිසා ය.

පද්මා ජීවත්වීම සඳහා බලසම්පන්න අරගලයක යෙදෙන අතර ඇයට මුණ ගැසෙන පිරිමි යහන් ගතවීම අපේක්ෂා කරති. තිලක් ඇය සූරාකෑමට එන්නේ විවාහ යෝජනාවක් ද සමඟ ය. එහෙත් විවාහයට පෙර කුසෙන් නිදහස් විය යුතුය. හෙවත් ගබ්සාවකට යා යුතුය. මුදලාලි ඇයට කුලී වැඩ ලබා දෙමින් තනිපංගලමේ ඇය සිප වැලඳගනී. හීං බණ්ඩේ තවත් විදියකින් ඇයට කෙළ හලයි. තෙන්නකෝන් තවත් විදියකින් ඇය දෙස බලා සිටියි. මේ සියල්ල සමාජ යථාර්ථයන් ය. නූතන ගැහැනිය උක්ත සිදුවීම් හඳුනන, ඒවාට එරෙහිව සටන් කරන හා පසු නො බසින චරිතයක් විය යුතු ය.

“බොහෝ රාත්‍රීන් ඉතා දිගු වූයේ අනාගතය පිළිබඳ බියකරු සිතුවිලි පෙළ ගැසුණු නිසා ය. පස් දෙනකුගේ කුස ගිනි නිවා ගැනීම ලෙහෙසි – පහසු නැත. මා උසාවියට යන විට දුටු හිඟාකන මිනිසුන්; නින්ද අහලකටවත් නොයෙන රාත්‍රියේ මා මතකයට එයි. පැදුරේ එහාටත් - මෙහාටත් හැරෙන වාරේ මට එකවරම ‘හිඟාකෑම’ පිළිබඳ අදහසක් ඇති වේ. හිඟාකන මිනිසුන් කියන කවි ද මා සිහියට නැඟේ.”

පද්මා කුමාරි බණ්ඩාර සිඟමනට බසින්නේ නැත. ඈ ඒ වෙනුවට වැඩ කරමින් ජීවිතයට මුහුණ දෙයි. විභාගයට ලිය යි. නඩුවට මුහුණ දෙයි. අලුත් රක්ෂාවල් හොයයි. දරු ප්‍රසූතියට මුහුණ දෙයි. මේ සියල්ල ජීවන යථාර්ථයන් ය. ජීවිතයේ ගැටලුවලින් පලායෑමත්; ඒ සඳහා දිවි නසාගැනීමත් අමාරු දේවල් නො වේ. දුෂ්කර වන්නේ බාධක මැදින් ජීවිතය ගෙන යෑමය. ඉනිදු ජයග්‍රහණ ලැබීම ය. කතුවරිය පලායෑම වෙනුවට ජීවත්වීම හුවා දක්වයි. දිවි නසාගැනීම වෙනුවට ජීවිතයේ ජයග්‍රහණ පෙන්වයි.

නවකතාව ආරම්භ වන්නේ අතිශය ප්‍රබල අවස්ථා නිරූපණයකින් ය. එනම්; පද්මාගේ් පියාගේ මළගමෙන් ය. ඒ වන විටත් දැරිය ගැබ්බර ය. නායක හාමුදුරුවන් “සබ්බ පාපස්ස අකරණං” ආදී ගාථා පාඨ කියවන අතර පද්මා සිහිසුන් ව බිම ඇද වැටේ. ඊළඟට ඈ වමනය දැමීමට පටන් ගනී. කතාව අවසන් වන්නේ අතිශය දුක්බර අවස්ථා නිරූපණයකින් ය. පද්මා ඉතා අපහසුවෙන් බිහිකරන දරුවා නිහාල් නම් දොස්තර මහතාට ලබා දීමට ඇයට සිදුවේ. මේ වන විට මාතෘත්වය පිළිබඳ හැඟීමක් දැරිය තුළ පවතී. ඇය ස්වකීය දරුවා දොස්තර මහතාට ලබා දෙන’මුත් ඔහු දෙන චෙක්පත නො ගනී.

“මගේ දෑස් අදහාගත නො හැකි මුදලක් සහිත චෙක්පතකි. එය සිහිනයක් ද? එතරම් මුදලක් ගැන මා කිසි දිනෙක සිහින මවාවත් නැත. එම චෙක්පත මගේත්, කිරි අම්මාගේත්, නංගිලා දෙදෙනාගේත්, චූටි මල්ලීගේත්, දැවෙන ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයනු නො අනුමාන යැයි මට මොහොතකට සිතිණි. ඒ සමඟම දරුවාගේ නිල්කැට දෙකක් බඳු දෑස් මා මනසට පිවිසියේ ය. මගේ පපුව නැවතත් රිදුම් දෙන්නට විය. මගේ දරුවා මට මැණිකකි. ඒ මැණික මට මිල කළ නො හැකි ය. මම චෙක්පත නැවත ලිපි කවරයෙහි බහා උපස්ථායිකාවට දිගු කළෙමි. ඇය වික්ශිප්තව මදෙස බලා සිටියා ය.

“අපි යමු කිරි අම්මේ!”

(44 – පරිච්ඡේදය – 202 - 203 පිටු)

සමස්තයක් ලෙස ගත් කල මේ නවකතාවෙන් ප්‍රධාන සමාජ සංවාද කිහිපයක් ගොඩනැඟිය හැකි ය.

දිවිනසාගැනීම නොව ජීවත්වීම වැදගත් බව;
ii
ස්ත්‍රීන් රට හැර යෑමෙන් මතු වන සමාජ ගැටලු හඳුනාගැනීම,
iii
පාසලේ දී ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම,
iv
අයාලේ ගිය දරුවන් සම්බන්ධයෙන් ශක්තිමත් පුනරුත්ථාපන වැඩසටහනක ඇති අවශ්‍යතාව.

ජීවත්වීම සඳහා අරගල කළ යුතුය යන මතය ගෙන යන සාහිත්‍යයක් අපට අවශ්‍ය වේ. අර්නස්ට් හෙමිං වේ එබඳු මතයක් දරමින් නවකතා කලාවේ යෙදුණේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” හා “මළවුන්ගේ අවුරුදු දා” කෘති දෙකෙහි එන දෙවෙන්දරෝ සං පරාජිත චරිතයකි. ඔහු ජීවිතයට මුහුණ දී ගත නො හැකි ව බෙහෙත් පෙති බී දිවි නසා ගනී. එහෙත් නොරිකෝ අවසන් දොඩම් ඉස්ම ටිකත් දෙවෙන්දරෝට දෙමින් ඔහු ජීවත් කරවීමට වෑයම් කරයි. ඔහු ජීවිතය හැරදා ගියද; නොරිකෝ ජීවිතයට මුහුණ දෙයි. ඈ මළවුන්ගේ අවුරුදු දා එනතෙක් බලා සිටිනුයේ ඔහු හා කතා කරන්නට ය.

“ඉක්මනින් ම

නැවත එතොත්,

මළවුන්ගේ අවුරුදු දා

මටත් නැවත යන්ට ඇහැකි

මළගිය ඇත්තන් කැටුවම...”

චිත්‍රා රොඩ්‍රිගෝ කතුවරිය ඉතා හොඳ අනුභූතියක් තෝරාගෙන සිය නවකතාව ගොතා තිබේ. එහෙත් නවකතාවේ ශිල්පීය අංශ කෙරෙහි ඇයගේ අවධානය යොමු වී නැත. ඇයගේ භාෂාව බෙහෙවින් දුර්වල ය. සාර්ථක නවකතාවකට ශක්තිමත් භාෂාවක් ද තිබිය යුතුය. ඇයගේ චරිත නිරූපණය ද දුර්වල ය. මේ නිසා ම නවකතාවේ උපරිමය පාඨකයාට දැනෙන්නේ නැත. කතුවරිය කෙතරම් නොසැලකිල්ලෙන් නවකතාව රචනා කර තිබේද යත්; ඇතැම් විටෙක තාත්තා හා අප්පච්චී කලවම් කර ගනී.

තාත්තා - අප්පච්චී - පප්පා වැනි ආමන්ත්‍රණවලින් එකක් මිස දෙකක් අපේ සමාජය තුළ භාවිත නො වේ. කතුවරිය සිය නවකතාවේ පරිච්ඡේද වෙන් කර ඇත්තේ ලේඛනය පිළිබඳ කිසිදු වැටහීමකින් තොරව ය. නවකතා රචනය යනු පොඩි පහේ ව්‍යාපෘතියක් බව චිත්‍රා රොඩ්‍රිගෝ වැනි කතුවරියන් වටහා ගත යුතුය. නවකතාවක පිට කවරය, පිටු සැලැසුම, මුද්‍රණ කඩදාසිය, අකුරු වර්ගය පමණක් නොව, පිට කවරයේ පසු වදන පවා නිර්මාණයට යම් දායකත්වයක් සපයන බව අපේ කතුවරුන් තේරුම් ගත යුතු ය. ඉතා හදිසියෙන් කතාවක් කීම නවකතා කලාව නො වේ. නවකතාවක් ලියන්නට පෙර සූදානමක් තිබිය යුතුම ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා