පාකිස්තාන බන්ධනාගාරයේදී පහරකෑමට ලක්වු ඉන්දියානුවාට බරපතළයි

පාකිස්තාන බන්ධනාගාරයේදී පහරකෑමට ලක්වු ඉන්දියානුවාට බරපතළයි

ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරුව 16 වසරක‍ට පෙර මරණීය දණ්ඩනය නියමව පාකිස්තානයේ බන්ධනාගාර ගතව සිටියදී ඉකුත් සිකුරාදා පහරදීමකට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවන සරාබ්ජිත් සිං නම් ඉන්දියානුවා බැහැදැකීමට එරට කොන්සල්වරයාට ඉඩ ලබා දී නැතැයි ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.

ලාහෝරයේ කොට් ලාක්පැට් බන්ධනාගාරයේදී ඇතිවූ බහින්බස් විමකදී පහර දීමට ලක්ව ඇති ඔහු හිසේ ඇතිවූ බරපතළ තුවාලයක් ඇතුළු තුවාල රැසක් ලබාඇත.

ඔහු‍ට ගල් ‍ගඩොල් හා මොට්ට ආයුධවලින් පහර දි ඇති අතර ලාහෝරයේ ජින්නා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැන් බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවන බව පැවසී ඇත.

දිල්ලි බලධාරින් පවසන්නේ ඔහු බැහැදැකීමට තානාපති නිලධාරින්ට ඉඩ ලබාදී නැතිවාක් පමණක් නොව සිරකරුගේ තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු ලබා දීමක්ද සිදුව නැති බවය.

කෙසේ වෙතත් සිංගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යාංශය හැකි හැම ප්‍රයත්නයක්ම දරණ බවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් මගින් අලුත්ම තත්ත්වයන් අනාවරණය කරගැනීමට ප්‍රයත්න දරණ බවත් ඉන්දීය බලධාරින් පවසා ඇත.

එහෙත් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් සිරකරු බැහැදැකීමට පෙරේදා ඉන්දීය තානාපති නිලධාරින්ට දෙවරක්ම ඉඩ ලබා දුන් බවය. සිංගේ බිරිය, දියණියන් දෙදෙනා හා සොයුරිය පෙරේදා ඔහු බැහැදුටු බව වෛද්‍යවරුන් පවසා ඇත.

කෙසේ වෙතත් තවමත් සිරකරු සිහිසුන් තත්ත්වයේ පසුවන බවද ඔවුන් කියා තිබේ. 49 හැවිරිදි සිං පුද්ගලයන් 19 දෙනකු ඝාතනය වුණු 1990 පන්ජාබ් බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වරදකරුව මරණීය දණ්ඩනය නියම වූවෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා