නේපාල කඳවුරුවල ජීවත්වූ භුතාන සරණාගතයෝ 78000ක් දැන් බටහිර රටවල

නේපාල කඳවුරුවල ජීවත්වූ භුතාන සරණාගතයෝ 78000ක් දැන් බටහිර රටවල

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

සිය නිජබිමෙන් පලා ඒමට සිදුවීමෙන් පසු දශක දෙකක පමණ කාලයක් නේපාලයේ කඳවුරුවල ජීවත්වූ භුතාන සරණාගතයින් 78000 ක් පමණ දැන් බටහිර රටවලට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් ආපසු සිය රට යැවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ජා අසාර්ථකවීමෙන් පසු මේ සරණාගතයින්ට දැන් එක්සත් ජනපදය හා වෙනත් බටහිර රටවල ජීවත්වීමට වරම් ලැබී තිබේ . භූතානය ඔවුන් බාර නොගන්නේ ඔවුන් නීති විරෝධි සංක්‍රමණිකයන් බව පවසමිනි.

මේ අතර තවත් සරණාගතයින් 38000 ක් නේපාල කඳවුරුවල වාසය කරන බව පැවසේ. මේ සියල්ලන්ම වාර්ගික නේපාල ජාතිකයන් බවත් 1990 ගණන්වලදී ඔවුන් භූතානයේ සිට දේශසිමාව තරණය කරමින් පැමිණ ඇත්තේ භූතාන ජාතික ඇඳුම අනිවාර්ය කිරීම හා නේපාල බස තහනම් කිරීමෙන් පසු හිංසනයන්ට භාජනය වීම නිසා බවත් කියැවී තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පවසන්නේ 100000 කට වැඩි පිරිසක් යළි පදිංචිය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බවය. සිය සරණාගත ක්‍රියාවලියේදී 80000 ක් පමණ බටහිර රටවලට යැවීමට හැකිවීම ඉතිහාස ගත සිද්ධියක් බව පවසන එ.ජා. සරණාගත කාර්යාලය ඒ සම්බන්ධයෙන් යළි පදිංචිය සිදුවන රටවලට, දානපතියන්ට හා නේපාල රජය දක්වන සහයෝගයට ප්‍රසාදය පල කර තිබේ. මේ භූතාන සරණාගතයින් දැන් එක්සත් ජනපදය, කැනඩාව,ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය,නෝවේ ,ඩෙන්මාර්ක් ,නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය යන වරටවල ජීවත්වන බව සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා