අමෙරිකා චිත්‍රපට නිර්මාපකයකුට එරෙහිව සාපරාධී චෝදනා

අමෙරිකා චිත්‍රපට නිර්මාපකයකුට එරෙහිව සාපරාධී චෝදනා

වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ නොසන්සුන්තා ඇති කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු වාර්තා චිත්‍රපට නිර්මාපකයෙකුට එරෙහිව බලධාරින් විසින් සාපරාධී චෝදනා ඉදිරිපත් කර ඇත.

කැරකස් හි අධිකරණයක් ඉකුත් සෙනසුරාදා කියා ඇත්තේ ටිමොති ට්‍රේසි නම් මේ පුද්ගලයාට එරෙහිව සාපරාධී කුම්න්ත්‍රණය, ව්‍යාජ නිවේදන සැකසීම හා ව්‍යාජ ලේඛන භාවිතය ආදි සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බවය.

ඉකුත් බදාදා කැරකස් ආසන්න ගුවන්තොටු‍පොළකින් රටින් බැහැර විමට තැත් කරද්දී ට්‍රේසි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ඡායාරූප නිකුත්කිරීමට පවා වෙනිසියුලා බලධාරින් පියවර ගෙන ඇත.

35 හැවිරිදි හොලිවූඩ් චිත්‍රපට නිර්මාපකයකු වන ට්‍රේසි ඉකුත් වසරේ සිට වෙනිසියුලාවේ රැඳී සිටිමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටිබව පැවසේ.

ඔහුගේ නීතිවේදිනිය පවසන්නේ ඔහුගේ සිනමා නිර්මාණය රාජ්‍ය ආරක්ෂාවට කිසිඳු සම්බන්ධයක් නැති බවය . ජනතාව අතර ඇති බෙදීම්වල මානසික බලපෑම පිළිබිඹුකරන පුද්ගල කතා එහි අඩංගු බව ඇය පවසයි.

ජනාධිපතිවරණයට පෙර හා පසු ජනතාව අතර පවත්නා බෙදීම් ඊට අඩංගුව තිබේ. ඔහු සිය සිනමා නිර්මාණය හොර රහසේ කරන්නක් නොවන බවද ඇය කියා තිබේ.

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට පවා ඔහුට අවසර ලැබී තිබුණු බවද ඇය පෙන්වා දී ඇත‍.

මේඅතර ඔහු ඔත්තුකරුවකු බවට වෙනිසියුලාව නඟන චෝදනාව එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මිගෙල් රොඩ්රිගෝස් පවසන්නේ මේ ‍අමෙරිකානුවා වෙනිසියුලා විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ බවය.

'ස්වෛරීත්ව මෙහෙයුම" නම් මේ ව්‍යාපාරය චාවේස් මරණාසන්නව සිටියදී ඔහු පිළිබද වඩ වඩාත් තොරතුරු ලබා දෙන ලෙස බලපෑම් කළ සංවිධානයකි.

ට්‍රේසි මේ ව්‍යාපාරයේ තරුණ ‍කොටස් සමග දැඩි සබඳතා පවත්වා ඇති බව ඇමැතිවරයා කියා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා