මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමය විසි දහසකට විකුණලා

මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමය විසි දහසකට විකුණලා

ජාවාරම්කරුවකු සමඟ සැකකරුවෙක් කොටු වෙයි

පිළිමතලාව පරණාගල විහාරස්ථානයෙන් සොරාගත් කිලෝ සියයකට අධික බරින් යුත් මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමයක් හික්කඩුව ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ අලෙවි සැලකට රුපියල් විසිදහසක මුදලකට අලෙවි කළ මහා ජාවාරම්කරුවකු හා තවත් සැකකරුවකු එම පිළිමය සමඟ අලවතුගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙයට අමතරව මේ ජාවාරම්කරුගේ කල්ලිය සොරාගන්නා ලද බව කියන කෑගල්ල ප්‍රදේශයේ පැරැණි දේවාලයක දැව දොරක්ද පොලිසිය සොයා ගෙන තිබේ. සොයා ගැනුණු කිරිගරුඬ බුදු පිළිමය අඩි දෙකහමාරක් උසැති කිලෝ සියයකට අධික බරින් යුක්ත බැව් පොලිසිය පවසයි.

2012 වසරේ සිදු වූ මේ සොරාගැනීම පිළිබඳ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ හික්කඩුව ප්‍රදේශයෙන් මේ බුදු පිළිමය හා පෞරාණික දොර සොයා ගැනිණි.

ප්‍රධාන සැකකරුට අමතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව පෞරාණික භාණ්ඩ ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන අතර තවත් සැකකරුවකු සහ ජීප් රථයක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

‍මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී චාමික ප්‍රේමසිරි මහතාගේ අධීක්ෂණය මත අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන නාරද වසන්ත ආර්.එම්.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා