මැන්ඩෙලා හා ශ්‍රී ලංකාව

මැන්ඩෙලා හා ශ්‍රී ලංකාව

“වහල්භාවය සහ වර්ණභේදය යනු දුප්පත්කම මෙන් අහම්බයක් නොවෙයි. එය මිනිසුන්ම නිර්මාණය කරගත් දෙයකි. එය ඉවත් කළ හැක්කේද මනුෂ්‍යයින්ටමය” යනුවෙන් නෙල්සන් මැන්ඩෙලා වර්ණභේදවාදයට එරෙහිව අභීතව හඬ අවදි කළ ලෝක නායකයාගේ ප්‍රකාශය තවත් වසර ගණනාවක් යනතුරු ලෝකය පුරා පවතිනු ඇත.

මැන්ඩෙලා අද මුළු ලොවම එක මිටට ගෙන ඇත්තේ කෙසේද? යන කාරණය ගැන වැඩි අවධානයක් යොමු කිරීම බලවත්, ධනවත්, රටවලට මෙන්ම නැගී සිටින රටවලට මෙන්ම තුන්වෙනි ලෝකයේ රටවලට එකසේ වැදගත් වන්නේය. මුළු දකුණු අප්‍රිකාවම මේ වන විට මුළු ලෝකය බවටත්, මුළු ලෝකය දකුණු අප්‍රිකාව බවටත් පත් වී තිබෙන්නේ ඇයිද? යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙල්සන් මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දක්වමින්........

ලෝකයේම සිටින ආගමික නායකයින් සියලුම බලවතුන් ඇතුළු රාජ්‍ය නායකයින්, විද්වතුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු අතිවිශාල පිරිසකගේ මේ දිනවල මුවඟ රැදෙන්නේ එකම වචනයකි. මැන්ඩෙලා, මැන්ඩෙලා එම නාමය ලොවපුරා රැව් පිළිරැව් දෙන්නේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, සහජීවනය සදාකල්හිම ජීවත්වන පරිදිය.

එමෙන්ම මැන්ඩෙලා “ නාමය මුළු ලොවපුරා රැව් පිළිරැව් දෙනවාට අකැමැති පිරිස් ද සිටිති. වර්ණභේදවාදයට, ජාතිබේදයට, කුල බේදයට, ත්‍රස්තවාදයට , බෙදුම්වාදයට පක්ෂ පිරිස මැන්ඩෙලාට අකමැතිය. ඉහත සඳහන් කරන ලද කිසිම භේදවාදයකට මැන්ඩෙලා දැඩි ලෙස විරුද්ධ විය.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් ලෙසම තර්ජනය වී තිබෙන්නේ ත්‍රස්තවාදය බව අවිවාදයෙන් පිළිගැනේ. වර්ණභේදවාදය, ගෝත්‍රවාදය, කුලවාදය වැනි දේවලින් ගැටුම් ඇතිවනවාට ත්‍රස්තවාදී නායකයින් සහ ත්‍රස්තවාදී සංවිධාන කැමතිය. එවැනි ගැටුම් ඇතිවන තරමට ත්‍රස්තවාදය පෝෂණය වන අතර ත්‍රස්තවාදයට සැඟවී තම ත්‍රස්තක්‍රියාකාරකම් නිසි පරිදි ඉටු කිරීමට ද එමඟින් හැකියාව පවතී. ලෝකයේ බලවත් කියාගන්නා රටවල්වන ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් තවමත් ත්‍රස්තවාදයෙන් පීඩා විඳී. නමුත් එම රටවල් ත්‍රස්තවාදයට එරෙහිව පොදුවේ පෙළගැසෙන්නේ නැත.

ඔවුන් පෙළ ගැසෙන්නේ ඔවුන්ට අදාළ වන න්‍යාය පත්‍රයන්ට අනුව පමණි. සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල කරන ලද අල්කයිඩා සංවිධානයේ ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා ශ්‍රී ලංකවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය වන කොටි සංවිධානයේ නායක වේඵපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළාට අකමැති වීමෙන් ත්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත මනාව පැහැදිලි වේ.

වර්ණභේදවාදය සම්බන්ධයෙන් ද ඇමෙරිකාවට තිබෙන ඉතිහාසය එතරම් හිතකර හෝ සුන්දර නොවේ. මාර්ටිං ලූතර් කිං ඇමෙරිකාවේ වර්ණභේදවාදයට එරෙහිව ක්‍රියාත්මක වූයේ නෙල්සන් මැන්ඩෙලා මෙනි. නමුත් බැරක් ඔබාමා ජනාධිපතිවරයා කටයුතු කරන්නේ මාර්ටිං ලූතර් කිංලාගේ අසලකටවත් යානොහැකි ආකාරයෙනි. එම නිසා නෙල්සන් මැන්ඩෙලා දෙන පණිවිඩය මුළු ලෝකයටම ආදර්ශයක් වන්නේ එමඟින් ත්‍රස්තවාදයට එක් පැත්තකින් උඩගෙඩි දෙන ඔබාමාලාට, බ්‍රිතානයේ ඩේවිඩ් කැමරන්ලාට එක්තරා ආකාරයකින් කනේ පහරක් එල්ල කරන නිසාය.

අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා ඒ මහතා වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙය මෑත කාලයේ ලොව වැඩිම දෙනා සහභාගි වූ හා වැඩිම දෙනෙක් රූපවාහිනියෙන් අන්තර්ජාලයෙන් නැරඹූ දේව මෙහෙය වනවාට සැකයක් නැත.

වර්ණභේදවාදයට පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහිව අභීතව හඬ නැගූ ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් නියෝජනය කරමින් එහි සභාපතිවරයා ලෙස නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ශ්‍රි ලංකාවට අතිශයින්ම වැදගත් සිදුවීමකි.

“මැන්ඩෙලා ඉතිරි කර යන දායාදය ඉක්මවා යාමට අපහසු වූවක්” යනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. පිළිකුල් සහගත වර්ණභේදවාදී භාවිතය අවසන් කිරීම සඳහා සිය කීර්තිමත් ජීවිතයෙන් වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීම තුළින් දකුණු අප්‍රිකානු පොදු ජනතාවට සේම පොදු රාජ්‍ය මණ්ඩලයේ විශාලතම නියෝජනය වන අප්‍රිකානු මහද්විපයටද එතුමා නව ජීවිතයක්, ගරුත්වයක් හා නිදහසක් රැගෙන ආවේය.

එතුමා විසින් ඉතිරිකර යන දායාදය ඇත්ත වශයෙන්ම ඉක්මවා යාමට අපහසු වුවකි. මෙම ශ්‍රේෂ්ඨ දකුණු අප්‍රිකානු පුත්‍රයාට හා කෘතහස්ත දේශපාලඥයාට පොදු රාජ්‍ය මණ්ඩලයේ අප විසින් පිදිය හැකි ඉහළම උපහාරය වන්නේ එතුමා විසින් දැඩිව රැකගත් ප්‍රජාතන්ත්‍රවාදයේ, විවිධත්වයේ හා එකමුතුවේ හරයයන් ආරක්ෂා කිරීමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙම ශෝක ප්‍රකාශය තුළ අදහස් රැසක් ගැබ්වී තිබේ. විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස රාජපක්ෂ මහතා මැන්ඩෙලා මහතාගේ දේශපාලන මෙහෙවර, සමාජ මෙහෙවර අගයන්නේ ඉතා දැඩි භක්ති ආදරයකිනි.

නෙල්සන් මැන්ඩෙලා හිටපු නායකයා උදා කරන ලද සාමයේ උරුමය හා ඔහුගේ ජීවිත දර්ශනය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය මුළුමණින්ම පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදා කිරීම සඳහා ප්‍රබල උත්තේජනයක් වූ බවත් තමාගේ ජීවිතය හා දර්ශනය හැඩගසා ගැනීමට ද මැන්ඩෙලා මහතා විශාල බලපෑමක් කළ බවත් ඔහුගේ අභාවය තමන්ට පෞද්ගලිකවම බලවත් පාඩුවක් බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි. එමෙන්ම මැන්ඩෙලා මහතා සිය ජීවිතයෙන් විශාල කාලයක් සිරගතව සිටියේ පිළිකුල් සහගත වර්ණභේදවාදය අවසන් කිරීම සඳහාය.

මැන්ඩෙලා මහතාගේ ඒ නිර්භීත ආදර්ශමත් ක්‍රියාව මුළු මහත් දකුණු අප්‍රිකානු පොදු ජනතාවට සේම පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය වන අප්‍රිකානු මහද්වීපයටද නව ජීවයක්, ගරුත්වයක් හා නිදහස රැගෙන ආවේය. වසර 95ක් ආයු වළඳා මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූයේ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

1964 ජුනි 12 වෙනිදා සිට වසර 27ක් මැන්ඩෙලා සිරගතව සිටියේ රොවන් දුපතේ සිරකඳවුරකය. මැන්ඩෙලාගේ රෝගී තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ඔහු ‍වසර 27ක් සිරගතව සිටීමයි. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුවද ඔහුගේ සිරගෙදර ජීවිතය තුළ අධ්‍යාපන කටයුතුද නිසි පරිදි කරගෙන යාමට මැන්ඩෙලා දැඩි වෙහෙසක් ගත්තේය. මැන්ඩෙලාගේ සිරගත ජීවිතයේ අංකය 46664ය. එය මුළු ලොවපුරා ජනප්‍රිය අංකයක් බවට පත්වූයේ මැන්ඩෙලා සිරගතව සිටින අතරතුරදී වීම තවත් විශේෂත්වයකි.

1918 ජුලි 18 වෙනිදා රොලිස්ලානා මැන්ඩෙලා නමින් දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කෙයිහිදී මැන්ඩෙලා උපත ලැබීය. ශිෂ්‍ය විරෝධයකට හවුල්වීම නිසා 1941 දී මැන්ඩෙලා පාසලෙන් නෙරපා දැමීම විශේෂත්වයකි. තරුණ වියේදීම අයුක්තියට, අසාධාරණයට එරෙහිව අභීතව නැගී සිටීමට මැන්ඩෙලා කිසිඳු චකිතයක් නොදැක්වීය.

1942 දී දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය ලබාගත් තරුණ මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොංග්‍රසය (African National congress) සමඟ එක් වුයේ ය. අප්‍රිකානු ජාතික කොංග්‍රස් තරුණ ලීගයේ ලේකම්ධුරයට තරුණ මැන්ඩෙලා පත්වන්නේ 1948 දීය. 1951 දී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපතිධුරයට පත්වන මැන්ඩෙලා 1956 දී දේශද්‍රෝහි චෝදනා යටතේ අත්අඩංගුවට පත් වී වසර 6ක් සිරගත කරයි. 1964 දී ජීවිතාන්තය දක්වා යළි සිරදඬුවමකට ලක්වන මැන්ඩෙලාට 1990 පෙබරවාරි 11 වෙනිදා නිදහස හිමිවන්නේය.

1993 දී ෆ්‍රෙඩ්රික් ක්ලාක් හා එකතුව මැන්ඩෙලා නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත්තේය. 1994 මැයි 09 වෙනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිධුරයට මැන්ඩෙලා පත්වන්නේ 62.65%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි. වසර 5ක් ජනාධිපතිධුරය දරමින් දකුණු අප්‍රිකාවටත් මුළු ලෝකයටත් සේවය කළ මැන්ඩෙලා 1999 දී ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගන්නේය.

ඔහු සිරගතව සිටියද, නිදහස ලැබුවද, ජනාධිපතිව සිටියද, විශ්‍රාම ගියද ඔහු මැන්ඩෙලාම විය. ඔහුගේ චරිතයේ ස්වභාවය අනුව ඔහු මුළු ලොවටම ආදරය කළේය. වර්ණභේදවාදයේදී සුදුජාතිකයින් කළු ජාතිකයින්ව ඝාතනය කර විනාශ කරන විට ඊට එකට එක කිරීමට මැන්ඩෙලා අනුබල නොදුන්නේය. ඔහු හැමවිටම ඉල්ලා සිටියේ සුදු මහත්වරුන්ට සළකන හැන්දෙන්ම කළු ජාතිකයින්ටද සළකන ලෙසයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම හඬ නැගීම නිසා ජනතාව පෙළ ගැස්වීම නිසා විශාල ජනමතයක් ලොවපුරා ඇතිකිරීම නිසා සුදු ජාතික පාලකයෝ මැන්ඩෙලා සිරගත කළහ.

නමුත් මැන්ඩෙලා තම සටන පාවාදුන්නේ නැත. සුදු ජාතික පාලකයින්ටම හති වැටී මැන්ඩෙලා වසර 27කට පසුව නිදහස් කිරීමට ඔවුහු ක්‍රියා කළහ. බෝලයක් දිය යට ඔබාගෙන දිගටම සිටීමට නොහැකිවන්නේ එම බෝලය කුමන හෝ මොහොතක යළි උඩට පැමිණෙන නිසාය. ඒ ආකාරයෙන් හැමදාමත් සිරකර මැන්ඩෙලා නිහඬ කිරීමට සුදු ජාතික පාලකයින්ට නොහැකි විය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ මැන්ඩෙලාට නිදහස ලබාදීමටය. මැන්ඩෙලා කිසිදිනෙක ඔහුට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා නොසිටියේය.

1994 ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලැබූ මැන්ඩෙලා කළු ජාතික ප්‍රථම ජනාධිපතිධුරයට පත්විය. ඔහුට අවශ්‍ය නම් සුදු ජාතිකයින්ගෙන් පළිගැනීමට ඕනෑවටත් වඩා අවස්ථාව තිබුණි. සුදු ජාතිකයෙකුට සිරීමක් කරනවාටත් ඔහු තදින් විරුද්ධ විය. කිසිම සුදු ජාතිකයෙකුට තවත් කිසිදු කරදරක් නොවීය.

වර්ණභේදවාදයෙන් තොරව මුළු දකුණු අප්‍රිකාවම අද එකම රටකි. සුදු ජාතිකයින්ට පමණක් මීට පෙර සීමා වූ හැම දෙයක්ම කළු ජාතිකයින්ට හිමිවී තිබේ. ජාතීන් අතර කිසිඳු බේදයක් නොමැත. මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල නියෝජනය කළේ සුදු ජාතිකයින් පමණි. දැන් කළු ජාතිකයින්ද එරට ක්‍රිකට්, පාපන්දු, රගර් ඇතුළු ක්‍රීඩා රැසක ජාතික කණ්ඩායම් නියෝජනය කරයි. ක්‍රීඩාවලින් මුළු ලෝකයේම ජයග්‍රහණ ලබාගන්නා විට දකුණු අප්‍රිකානු ධජය එසවෙන විට එරට ජාතික ගීය ගායනා කරන විට නැගී සිටින්නේ අත්පොළසන් දෙන්නේ, ඔල්වරසන් දෙන්නේ එක් වර්ණයකට අයත් පිරිසක් නොවෙති. එයට මුළු දකුණු අප්‍රිකානුවෝම එක් වෙති.

1995 දී දකුණු අප්‍රිකාව ලෝක රග්බි කිරුළ දිනාගත් අවස්ථාවේදී ඒ ගැන වැඩියෙන්ම සතුටු වූයේ නෙල්සන් මැන්ඩෙලාය. ඒ උසස් තරගය නැරඹීම සඳහා මැන්ඩෙලා පැමිණිමත් සමග මුළු ලොවේම අවධානය ‍ඒ සඳහා යොමු විය. එය දකුණු අප්‍රිකානුවන් නෙල්සන් මැන්ඩෙලා මහතාට ලබාදුන් ත්‍යාගයක් වාගේය. එහිදී දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමට ලබාදුන් අත්පොළසන් නාදය තුළ සුදු / කළු භේදයක් නොවීය. එම අවස්ථාව කෙතරම් සංවේදී වුවාද කියතොත් එම රගර් ලෝක කුසලානයේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වූ සිනමාපටයද අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදය තිබුණු කාලයේ දී කිසිම රටක් දකුණු අප්‍රිකාව සමඟ සබඳකම් නොපැවැත්වීය. එය නොසළකා 1982 වසරේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නීති විරෝධී ලෙස දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී එම කණ්ඩායමට වසර 25ක ක්‍රිකට් තහනමක් පැනවීමට එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි දිසානායක අමාත්‍යවරයා ක්‍රියා කිරීම මෙහි දී සිහිපත් කළ යුතුය. නීතියෙන් එදා දඬුවම් ලබා දුන්නද ක්‍රිකට් කණ්ඩාය නම් සංචාරය ගැන මැන්ඩෙලාට නම් කනගාටුවක් ඇතිවන්නට ඇත.

නෙල්සන් මැන්ඩෙලාගේ අහිංසාවාදයට බෙහෙවින් බලපෑමක් කළ චරිතය වූයේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමායි. ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී වැඩසටහන කෙ‍ෙරහි මැන්ඩෙලා දැඩි අවධානයක් යොමු කළේය. තම සිරගත ජීවිතයේදී මහත්මා ගාන්ධිතුමාගේ පොතපත කියවීම මැන්ඩෙලා මහතා පුරුද්දක් කරගෙන සිටියේය.

ත්‍රස්තවාදය, වර්ණභේදවාදය පරාජය කරමින් අද බොහෝ රටවල් නිදහසේ සුව විඳිමින් සිටියද ඒ සඳහා වෙහෙස වූ නායකයින් සිරගත කිරීම සඳහා විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ ඇතැම් රටවල් හා සංවිධාන ක්‍රියාකරන බව නොරහසකි. මැන්ඩෙලා වර්ණභේදවාදය පිටුදැක්ක ආකාරයෙන් ශ්‍රිලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදයෙන් මුළු රටම මුදාගෙන ඇත.

ශ්‍රි ලංකාව තුළ කිසිඳු බියක් සැකයක් නොමැතිව ජීවත්වීමට හැකි බව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පසුගියදා පැමිණි රාජ්‍ය නායකයෝ පිළිගත්හ. මේ අවස්ථාවේදී පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකෝබ් සුමා මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ දෑත් අල්ලා ගනිමින් කීවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දකුණු අප්‍රිකාව සතුටු වන බවයි. මීට අමතරව දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම ගැන ද දෙරටේම නායකයින්ගේ අවධානය යොමු විය. මේ අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අසනීප තත්ත්වයෙන් පසු වූ නෙල්සන් මැන්ඩෙලා මහතා ගැන විමසීමට අමතක නොකළ අතර මැන්ඩෙලා මහතාට ඉක්මනින් සුවවේවායි කියා ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කළේය.

මැන්ඩෙලා මහතාගේ ආදර්ශය ඉතා හොඳින් ක්‍රියා කළ රාජ්‍ය නායකයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ 83 ඇතිවූ අවාසනාවන්ත කළු ජූලිය නිසා කොටි ත්‍රස්තවාදය බලවත් වූ බව නොරහසකි. නමුත් ඉන් පසු කෙ‍තරම් සිදුවීම් ඇති වුණද කළුජූලි ඇතිවීමට ඉඩ දුන්නේ නැත.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව යළිත් කළු ජූලියන් ඇති කිරීමට බෙදුම්වාදයට උඩගෙඩි දෙන පිරිස් නොගත් උත්සාහයක් නැත. නමුත් ආදර්ශයට ගතහැකි ලෝක නායකයින්ගේ දැනුමෙන් පරිපූර්ණ වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වර්තමානයේ පරිණත ලෝක නායකයෙකු වශයෙන් ක්‍රියාකරන්නේ අනාගතය වෙනුවෙනි. අනාගතයේදී නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමට ඕනෑවටත් වඩා සුදුසුකම් මහින්ද රාජපක්ෂ මහතා සතුය. අනාගතයේදී ආසියාවේ මැන්ඩෙලා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා හැඳින්වුවද එහි වරදක් නැත.

සමුගත් ඔහු ....

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා