මින් පසුව පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයටයි

මින් පසුව පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයටයි

ආර්.ඒ.ඒ.කේ. රණවක
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්

මෙරට තිබෙන මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය යටතේය. ග්‍රාමීය ජනතාවට වඩාත් සමීප එම පළාත් පාලන ආයතන නියාමනය කරන ආකාරය හා ගම ශක්තිමත් කර රට ශක්තිමත් කිරීම යන ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මඟින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍යංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* ප්‍රථමයෙන්ම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ව්‍යුහය හා කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

අපේ රටේ 13 වැනි ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරපු පළාත් සභා 9ක් තිබෙනවා. ඒ වගේම මහ නගර සභා 23ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් ඇතුළුව පළාත් පාලන ආයතන 335ක් තිබෙනවා. සතිපොළ, මාතෘ සායන, නගර සංවර්ධනය, බස්නැවතුම්පොළ, ජල සම්පාදනය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, රථ ගාල්, පෙර පාසල්, පුස්තකාල, අවසර පත්‍ර හා බලපත්‍ර ලබා දීම,කසළ කළමනාකරණය යනාදී සේවාවන් රැසක් පළාත් පාලන ආයතනවලින් මහජනතාවට සැපයෙනවා.

මෙම සේවාවන් සැපයීම විදිමත්ව කරගෙන යාම සඳහා විවිධ ආඥා පනත් සහ පනත් තිබෙනවා. ඒ වගේම එක් එක් පළාත් පාලන ආයතන මඟින් අතුරු ව්‍යවස්ථාත් සකස් කරගෙන තිබෙනවා. අප අමාත්‍යංශයෙන් සිදු කරන්නේ මෙම සෑම පළාත් පාලන ආයතනයකම කටයුතු නියාමනය කිරීම හා ජාතික ප්‍රතිපත්තීන් අනුව ඒවා ක්‍රියාත්මක කිරීමයි.

* පළාත් සභා නවයේම කටයුතු ජාතික ප්‍රතිපත්තීන් අනුව ක්‍රියාත්මක කෙරෙන්නේ කුමන ආකාරයටද?

කෘෂිකර්මය, සත්ත්ව පාලනය, පරිවාස හා ළමා රක්ෂණ, සමූපකාර, මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, සංචාරක ආදී මධ්‍යම රජයේ තිබෙන විෂයයන්වලින් එක්තරා ප්‍රමාණයක් පළාත් සභාවලට පැවරෙනවා. ඒ වගේම මේවා ක්‍රියාත්මක කරද්දී එක් එක් පළාත් සභා තම ප්‍රදේශවල තිබෙන ගති ලක්ෂණ අනුව නීති රීති, ක්‍රමවේද හා සැලසුම් සකස් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්නවා වගේ පළාත් සභාවේ මහජන නියෝජිතයන් ප්‍රඥප්ති සකස් කරගන්නවා. නමුත් ඒවා සියල්ලම ජාතික පනත්වලට හා ව්‍යවස්ථාවට අනුකූල වෙන්න ඕනෑ. අපි කරන්නේ නව ආකාරයකට ක්‍රියාත්මක වන පළාත් සභා නවය ජාතික ප්‍රතිපත්තියකට අනුව හැසිරවීමේ කාර්යයයි.

* දැනට අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන නව සංවර්ධන ව්‍යාපෘති මොනවාද?

පළාත් සභා වගේම පළාත් පාලන ආයතන මඟින් සිදු කරන විදේශ ව්‍යාපෘති තිබෙනවා. පුර නැඟුම ඉන් එක් ව්‍යාපෘතියක්. ඊට අමතරව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතීත් තිබෙනවා. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මඟින් අන්තර් පළාත් මාර්ග කාපට් කිරීම හා වැඩි දියුණු කිරීම, කුඩා නගර හා විශාල නගර අතර සම්බන්ධතාව ඇති කිරීම, මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති වගේම පාසල් සංවර්ධන ව්‍යාපෘතිත් ක්‍රියාත්මක වෙනවා.

පාසල් පාදක අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ඉන් විශේෂයි. එහිදී අපි පළාත් සභාවට අයත් පාසල්වල ගොඩනැඟිලි ඉදිකිරීම, විද්‍යාගාර, වැසිකිලි, පන්ති කාමර. පරිගණක මධ්‍යස්ථාන, ගුරු පුහුණු, ගුරු නේවාසිකාගාර වගේම අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩසටහන් පවත්වනවා. එමඟින් දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඇති කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැනට පාසල් 9500 පමණ තිබෙනවා. ඉන් පාසල් 9000 අයිති පළාත් සභාවට. ඒවායෙන් පාසල් 5000ක දැන මේ අධ්‍යාපන වැඩසටහන් කරගෙන යනවා.

* නගර සංවර්ධන සඳහා ක්‍රියාත්මක පුර නැගුම ව්‍යාපෘතිය කොතෙක් දුරට සාර්ථක වී තිබෙනවාද?

පුර නැඟුම ව්‍යාපෘතියෙන් සංවර්ධනය කරන්නේ අඩු ආදායම් තත්ත්වයේ පසුවන ප්‍රාදේශීය මට්ටමේ නගරයි. අවම පහසුකම් යටතේ පවතින මෙම නගර පහසුකම් සහිත නගර බවට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බස්නැවතුම්පල, සතිපොල, වැසිකිලි, මහජනයාට විවේක ගතහැකි විවේවාකාගාර, පුස්තකාල,පෙරපාසල්, වාහන නැවතුම්පල, පානීය ජලය, උද්‍යාන, ක්‍රීඩා පිටි, මාතෘ සායන යනාදී නගරයකට අවශ්‍ය සියලුම ගොඩනැඟිලි සහ පහසුකම් මෙමඟින් ලබා දෙනවා.

පුරනැඟුම ව්‍යාපෘතිය මඟින් සෑම නගරයකටම මූලික අදියරේදී ලක්ෂ 500ක් ලබා දෙනවා. සියලුම ව්‍යාපෘති තෝරා ගැනීම, ඒවාට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම, ව්‍යාපෘති අධීක්ෂණය යනාදී සියල්ලම සිදු කරන්නේ අදාළ පළාත් පාලන ආයතනවලින්. අපි කරන්නේ මඟ පෙන්වීම පමණයි. ලෝක බැංකු ආධාර යටතේ 2012 පටන් ගත් පුරනැඟුම ව්‍යාපෘතිය 2015 වෙද්දි නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට මේ ව්‍යාපෘතියේ 30%ක පමණ ප්‍රගතියක් තිබෙනවා.

* පළාත් පාලන ආයතනවලින් සිදුකෙරෙන ව්‍යාපෘතිවලදී අක්‍රමිකතා සිදුවෙන බවට චෝදනා එල්ල වෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

එවැනි චෝදනා අපේ අමාත්‍යංශයටත් පළාත් සභාවලටත් එනවා. ඒ වගේම ජනමාධ්‍යයෙනුත් අසන්න දකින්න ලැබෙනවා. එම නිසා ඒවා අධීක්ෂණය සඳහා අපි වෙනමම කණ්ඩායම් පත්කර තිබෙනවා. අමාත්‍යංශයත් පළාත් සභාත් ඒකාබද්ධව විමර්ෂණය සිදු කරනවා. ඒ වගේම යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරද්දි ඒ සඳහා විදිමත් සැලැස්මක් අපි සකස් කරලා ඒවා මහජනතාවට ප්‍රදර්ශනය කරනවා. යම් කිසි ඉදිකිරීමක් නම් ඒ සඳහා ඇස්තමේන්තුගත කළ මුදල, ගල්, වැලි, සිමෙන්ති මිශ්‍ර කරන ආකාරය, ව්‍යාපෘතිය ආරම්භ කළ දිනය, අවසාන කළ දිනය, කොන්ත්‍රාත්කරු පිළිබඳ විස්තර වගේම මහජනතා‍වගේ පැමිණිලි සඳහා දුරකථන අංක පවා එහි සඳහන් කරනවා. ඒ නිසා මහජනතාවටම විගණනය කරලා යම් දූෂණයක් වංචාවක් සිදු වෙනවා නම් අදාළ ආයතන දැනුවත් කිරීමේ හැකියාවත් තිබෙනවා.

* සංවර්ධන කටයුතුවලට අවශ්‍ය උපකරණ හිඟ බවත් ඇතැම් පළාත් පාලන ආයතන පවසනවා. මේ ගැටලුව මඟහරවා ගැනීම‍ට ගෙන ඇති පියවර මොනවාද?

අය වැය යෝජනාවට අනුව සෑම පළාත් පාලන ආයතනයටකටම මසකට ලක්ෂ 10 බැගින් වෙන් කරනවා. ඊට අමතරව අපි විවිධ අවස්ථාවන්හිදී ආයතනවල අවශ්‍යතාවන් සොයා බලා නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ‍ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර්, මාර්ග තලන යන්ත්‍ර, විදුලිය නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ආදී කුඩා කුඩා උපකරණ ලබා දුන්නා. විශේෂයෙන් සෑම පළාතක්ම ආවරණය වන පරිදි මේ වසරේදී ට්‍රැක්ටර් 150ක්, කම්පැක්ටර්, මාර්ග තලන යන්ත්‍ර, ජලබවුසර් 2, ගලී බවුසර්, මාර්ග තලන යන්ත්‍ර, සභාපතිවරුන්ට වාහන 36, යනාදීය ද ලබා දුන්නා. මේ සියල්ලම සිදු කරන්නේ පළාත් පාලන ආයතන ශක්තිමත් කර මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙන්නයි.

* බොහෝ පළාත් පාලන ආයතනවල විශාල ගැටලුවක්ව පවතින කසල කළමණාකරණයට ස්ථිරසාර විසදුමක් නැද්ද?

කසළ කළමනාකරණය පිළිබඳ කතා කළොත් ලංකාවේ දවසකට කසල මෙ.ටො. 7000 කසල බැහැර කරනවා. එය කොළඹ නගරයේ පමණක් මෙ.ටො. 700. නමුත් මේ කසල ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ කොම්පෝස්ට් නිපදවන්න පුළුවන් 10% - 15% අතර ප්‍රමාණයක් පමණයි. ඉතිරි 85% , 90% ස්ථානයක් සොයා බැහැර කරනවා. මෙය විශාල පාරිසරික ගැටලුවක්. ඒනිසා නිවෙස්වලින් බැහැර කරන කසල ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් අපි පසුගිය කාලේ ප්ලාස්ටික් බදුන් ලබා දුන්නා. ඒ මඟින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් තෝරා ගැනීමට හැකිවෙනවා මෙන්ම ජනතාවට කොම්පෝස්ට් පොහොර නිශ්පාද‍නයෙන් අමතර ආදායමක් උපයා ගන්නත් පුළුවන්. අපි මෙම වැඩසටහන පාසල් වලටත් හඳුන්වා දී තිබෙනවා. දැනට වැලිගම, බලංගොඩ, කුලියාපිටිය, ගලිගමුව, බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල කොම්පෝස්ට් ව්‍යාපෘති සිදු කෙරෙනවා.

* පළාත් පාලන ආයතනවලට ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන කොට්ඨාස ඡන්ද ක්‍රමය කොතරම්දුරට සාර්ථක වේවිද?

2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝදන පනතින් මෙතෙක් පැවැති අනුපාත ක්‍රමයට පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම අහෝසි වෙනවා. ඉදිරියේදී ප්‍රාදේශිය සභවක, නගර සභාවක, මහනගර සභාවක ඡන්දය පවත්වන්නේ කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතෙයි. මෙහිදී පළාත් පාලන ආයතනයක් ග්‍රාමසේවා වසම් දෙකක් තුනක් එකතුකර කොට්ඨාස කිහිපයකට වෙන් කරනවා. එවිට අදාළ මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සිදු කරන්නේ කොට්ඨාසයටයි. සභාව නියෝජනය කරන්නේ එම පුද්ගලයාමයි. ඉස්සර සභිකයන් පත්වුණේ පළාත් පාලන බලප්‍රදේශයේම ඡන්දවලින්.

නමුත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙනවා. මෙමඟින් අදාළ කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට තම කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන ඇතුළු ගම් මට්ටමේ නිලධාරීන් ඒකරාශී කරගෙන තමන්ගේ නායකත්වය යටතේ අදාළ ප්‍රදේශයට හොඳ සේවයක් ඉටු කරන්න හැකි වෙනවා. ඒ නිසා අදාළ ප්‍රදේශ හොඳින් සංවර්ධනය කිරීමට හැකි වෙනවා වගේම ජනතාවට වගකියන සභිකවරයෙක් ළඟම ඉන්නවා. මේ කොට්ඨාස ක්‍රමය නිසා ආයෙත් මනාප පොරයක් ඇති වෙන එකකුත් නැහැ. ඒ නිසා අනුපාත ක්‍රමයට වඩ කොට්ඨාස ක්‍රමය වඩාත් සාර්ථක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා