වැසි ලුහුබැඳ සමනල කඳු සිරසට

වැසි ලුහුබැඳ සමනල කඳු සිරසට

මේ සමයේ ඇදහැළෙන වර්ෂාව සමනල අඩවියට පමණක් නොවේ. එහෙත් වර්ෂාවට ඉඩදී සමනල ගිර තරණය නොකර සිටීම කළ නොහැක්කකි. අනර්ඝ ජෛව විවිධත්වයට හිමිකම් කියන සමනල කඳු මුදුනට යා හැකි අප්‍රසිද්ධ මාර්ග කීපයකි. ඒවා බොහෝවිට දුෂ්කරය.

අභියෝගාත්මක සංචාරය අරඹමින් සඳගලතැන්න හරහා සමන්ගිර තරණය අපගේ අරමුණ විය.අබලන් වූ මාර්ගයේ ගැස්සී ගැස්සී පැද්දී පැද්දී මොරේ වතුයාය දක්වා ගමන් ආරම්භ කෙළෙමු. වැස්ස තවමත් අඩු වූ සෙයක් නොපෙනේ. මොරේ වතුයායට ළඟාවනවිට පැයක් පමණ ගෙවී ගොසිනි.

ආදිපත්‍ය පතුරුවා සිටි මීදුම ක්‍රමයෙන් ඉවත් වී හිරු එබිකම් කරමින් සිටී. අවට මනබන්දන දසුන් පෙළ බොඳ වූ චිත්‍රයක් සේය. රිදී පාටින් දිස්වන මස්කෙළි ජලාශයත් දෝතුරුගල කඳු වළල්ලේ සොඳුරු දසුන් නෙත් පැහැර ගත්තේ නොදැනෙන්නය.

ලාලිත්‍ය ගමනක අවසන් අදියරයට පැමිණි බතුලු ඔය ගල් බිත්තිය මතින් මීටර් 40ක් පහළට මස්කෙළි ඔයට කඩා පනින්න සූදානම්ය. මේ සුදෝ සුදු ජල කඳ නිර්මාණය කරන්නේ ගාට්මෝර් දියඇල්ලයි. ඒ නම ලැබී ඇත්තේද ගාට්මෝර් වතු සීමාවේ පිහිටා ඇති බැවිනි.

තද නොවුණත් වැස්ස තවමත් ඇද හැළෙමින් තිබේ. මීළඟ පියවර රාජමලේ වෙත යාමයි. පොද වැස්සේ තෙමෙමින් තේ ගස් අතරින් වැටී ඇති අඩි පාරේ ඉදිරි පියවර තැබුවේ කම්කරුවකුගේ උදව්වෙනි.රාජමලේ පිහිටා ඇත්තේ සුන්දර තේ ගස් පිරි වටපිටාවක විශාල තැනිතලා භූමියකය. එම ඉසව්වට ළඟාවීමට අපට පැයක් පමණ ගතකිරීමට සිදුවිය.මෙතැන් සිට සඳගලතැන්න හරහා වන මැදින් දුෂ්කර මග ඔස්සේ අපගේ ගමන් මාර්ගය වැටී තිබේ.

වෙහෙසත් සමඟ කුසගින්න හිස ඔසවන්නට පටන් ගෙනය. රැගෙන ආ එළවළු බත්පත නිමා වූයේ දිගහැරෙන වේගයට වඩා වේගයකිනි. පිනි පිසදමමින් කඩා හැළෙන දොළක් අබියසම පිහිටියේ ගමන් මාර්ගයේ ආරම්භක ස්ථානයයි. නඩේ ගුරා නිමන්ත කොළ අත්තක් එල්ලා චාරිත්‍ර ඉටුකරන අතරේ කණ්ඩායම ඉදිරි පියවර තබා අවසන්ය. අප්‍රසිද්ධ මාර්ගයක් වූවත් බොහෝවිට වන්දනා සමයෙහි භාවිත කෙරේ. මෑතකදී එළිපෙහෙලි කළ බවට සලකුණු අවට විසිරී තිබේ.

පළල් වූ මාර්ගය ක්‍රමයෙන් අඩි පාරක් බවට පරිවර්තනය වෙමින් තිබේ. විරාමයක් අවසන් කරමින් නැවතත් මහ වැසි ඇද වැටෙන්නට පටන් ගත්තේ අවිනිශ්චිත බව දැඩි කරමිනි. අප දැන් පියවර තබන්නේ සමනල අඩවියටයි. නිරන්තරව ගලා එන දිය සීරා නිසාවෙන් පොළොව තෙත ගතිය අධිකය. දියමංකඩ කීපයක්ම තරණය කරන්නට සිදුවූයේ එරී වැටෙමින් දුෂ්කරතාවලට මුහුණදෙමිනි. මඟ අවුරා වැටී තිබූ මහ ගස් කඳන් මතින් පැන යාමට අවස්ථා කීපයක දී ම සිදු විය. ඉහළට දිව යන දුෂ්කර මඟ දකින විට හිත ගැස්සෙන්නේ ඉබේමටය. නැ‍ඟෙන සිතිවිලි මුවින් පිට නොවීමට පරෙස්සම් වුණෙමු.

විශාල පර්වතවලින් පිරී ගිය දුර්ගය අපහසුවෙන් තරණය කළ අප සේන්දු වූයේ හරිත වර්ණ පිරි ගුණ වනයටයි. ජෛව විවිධත්වයේ ඉහළ පරිසර පද්ධති 3කට අධික, නඳුන්, බදුල්ල, මහරත්මල්, පොල්කටුගස්, මහකරටියා, හීන්බෝවිටියා, කැකිල්ල හා මීමන විශේෂ පිටි වනය පීරා එන හුස්මට ගමන් ගත්තේ දැනුණ වෙහෙස මො‍ෙහාතකට අමතක කරමිනි. සමනල අඩවියේ ආවේණික හා ආවේණික නොවන ශාක විශේෂ 165 ක් පමණ තම ආදිපත්‍ය පතුරුවා සිටිති.

ලේ සුවඳට ඉව අල්ලන කූඩැලි මිනින්දෝරුවෝ බෙල්ල දිගුකොට ප්‍රහාරයකට අර අදිමින් සිටිති. කර බැඳි බර මලු බිම තබා විවේක ගැනීමටවත් ඔවුහු ඉඩ තැබුවේ නැත. වනයෙන් පිටවී ආ අප විවෘත විශාල තැන්නේ පිහිටි ගල්තලාවකට ළඟා වුණෙමු. සඳගලතැන්න යනුවෙන් හඳුන්වන්නේ මෙම ස්ථානයයි. මීදුමින් තොර වූ පැහැදිලි දිනකදී ශ්‍රී පාද කඳුමුදුනේ ඊසාන දෙසින් සඳගලතැන්න පැහැදිලිව දැක ගත හැකි ය. ක්ෂණිකවම අවට පරිසර මීදුමේ ආක්‍රමණකාරි අණසකට යටත් විය. කිසි දෙයක් නොපෙනෙන ඉසව්වේ පාර සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය.

ක්‍රමයෙන් දැඩි වන සීතල දරා ගැනීමට අපහසු තරම්ය. අඩි 6500ට වඩා ඉහළට ළඟා වී ඇති බව පරිසර පද්ධතියේ වෙනස් වීමෙන් හඳුනා ගත්තෙමු.අතිදුෂ්කර පියවර කීපයකින් නල්ලතන්නි ප්‍රධාන මාර්ගයට ගොඩවීමට අපට හැකිවිණි. දැන් අප සිටින්නේ අහස සිප ගන්නා මානයේය. මුදුනට ළඟා වීමට තවත් ගව්වක් පමණ යා යුතුය.මහ වැසි ඉහළ සිට රැගෙන ආ කුණුරොඩුවලින් පිය ගැටපෙළ අවුරා තිබිණි. ජලයේ බලපුළුවන්කාරකම ඉදිරියේ අසරණ වූ යකඩ අත්වැට ගැලැවී ඇඹරී ගොසිනි. මීදුමින් වැසී ගත් මලුවේ ගොඩනැගිලි පෙනී නොපෙනී යන්නේ හිතට අස්වැසිල්ලක් ලබාදෙමිනි.

මීටර් 2244ක් උස පූජනීය කඳුමුදුනට පය තබනවිට වේලාව සවස 4 පසුවුවා පමණි. වලාකුළු මත පාවෙමින් දුෂ්කර ගමනක අවසානය ආඩම්බර හැඟීම විඳගත්තේ වේගවත් සුළඟක පහස ලබමින් සීතලේ ගැහෙමිනි. අප ගොඩවනවිට මලුවේ සිටියේ ආරක්ෂක නිලධාරින් දෙදෙනකු පමණි. රැකබලා ගැනීමේ වගකිවයුත්තෝ කිසිවකු නැත. අයහපත් කාලගුණය නිසාදෝ විදුලිය ඇණ හිටි තිබිණි. ජල කරාම සිඳී ගොසිනි. රැගෙන ආ ඉටිපන්දම් ආලෝකයෙන් ආගමික වතාවත් සිදුකළේ මහ වැසි සුළං ආදී අභියෝග ජය ගනිමිනි. වෙහෙසකාරී ගතටත් හිතටත් නින්ද අවශ්‍ය වූවත් දෑස් පියවෙන්නේ නැත. කට කට ගා දත් එකට ගැටෙන හඬ ඇසෙන්නේ මට පමණි.

දෑත්වල ඇඟිලි හිරි වැටී දර දඬු වී තිබේ. දෙසවන් අගුල් වැටෙන තරමට ශීතල අධිකය. නින්දත් නොනින්දත් අතරේ සැරි සැරූ අප කීපදෙනකුට මිහිරි බෙර වාදනයක් ශ්‍රවණය කිරීමට ලැබුනේ පුදබිමේ ආශ්චර්යයවත් බව ප්‍රකට කරවමිනි. මෙම පින්වත් අත්දැකීම මා ලැබූවේ දෙවැනි වරටයි. තිදෙනා හැර සෙසු අයට නොඇසීම පුදුමයට පත් කරවන කරුණක් විය.

පසුදා උදෑසන 7.30ට පමණ රත්නපුර පලාබද්දල මාර්ගයෙන් බැසීම ආරම්භ කළෙමු. ආරම්භ පියවර අභියෝගාත්මක එකක් විය. ප්‍රපාතාකාර බෑවුම දකින විට දෙපා වෙව්ලන්නේ බයටමය. යකඩ ‍බම්බුවලින් එල්ලී එක තැන සිටි වාර ගණන වැඩිකර ගැනීමට සිදුවූයේ සුළ‍ඟේ අධික වේගය නිසාවෙනි. මහගිරිදඹේ සුළං කපොල්ල පසුකරන තෙක්ම ගමන ත්‍රාසජනක අත්දැකීමකි. රජ මාවතේ පියගැට සියල්ල රණවිරු දෑතින් ඉදිවී අවසන්ය.

ඔවුහු තවත් අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ අම්බලන් පිළිසකර කිරීමටයි. මැල්ලමලකඳුර හා හැරමිටිපාන අතර පැරැන්නෝ භාවිත කළ යකඩ ඉනිමං තවමත් නොනැසී පවතී. හෙක්ටයාර් 23,380ක් පුරා විහිදී ඇති අභය භූමියේ සුන්දරත්වය මතුකරන්නට වළාකුළු අතරින් එබී බලන හිරු කිරණ සමත් වී සිටී. විවිධ වර්ණ ගැන්වූ ඕකිඩ් විශේෂ සුළ‍ඟේ තාලයට හසුවී ඇති සෙයකි. පලාබද්ද ගම්මානයට ළඟාවනවිට හොඳ හැටි හෙම්බත් වී සිටියෙමු. දැන් නම් දෙපා ගමන් කරන්නේ මනසින් මිදී ඉබාගාතේය. ගම්මානය කෙළවරින් ගලා යන ගඟට පැන්නේ සිසිල් දියේ වෙහෙස පාකර හරින්නටය.

සංචාරය අවසන් කරමින් පාරට පිවිසියත් පෙනි පෙනී රත්නපුර බසය පිටත් වූයේ අප අපටම බැණ ගන්නට ඉඩ හරිමිනි. හදිසියේ දිව ආ තරුණයකු අතින් සන් කළේ බසය ඇති බව කියන්නටය. වේදනාකාරී දෙපා මොහොතකට අමතක කොට නැවතුම් දෙකක් දුරින් නවතා ඇති බසය වෙත දිව ගියේ “පුරවා ගත් අත්දැකීම් මල්ලත්” කර තබාගෙනය.

විශේෂ ස්තුතිය නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ජයසිංහ මහතා ඇතුළු කරුණාදාස, සිරිපාල මහත්වරුන්ට හා දිසානායක මහත්මියට.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා